×

බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි – දින 76 කින් මරණ සංඛ්‍යාව දෙගුණ වෙලා!

මෙසේ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉතා සුළු කාලයක් ඇතුලත දෙගුණය ඉක්මවා යාම සම්බන්ධයෙන් රජය ඇතුළු සෞඛ්‍ය අංශ සිය අව්‍යාජ කණගාටුව හා කම්පාව ප්‍රකාශ කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවද දන්වා ඇත.


බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.

ගතවූ දින 28 තුළ වාර්තා වූ නව කොවිඩ් මරණ 1631 සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 100,162 ලෙස සටහන් වන බව ස්කයි නිව්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඉකුත් වසරේ නොවැම්බර් මස 11 වන දින බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ සංඛ්‍යාව පනස් දහසක් ලෙස සටහන් වූ අතර, එතැන් පටන් මේ දක්වා ගතවූ දින 76 ක කාලය තුළ මරණ සංඛ්‍යාව දෙගුණය ඉක්මවා තිබීම විශේෂත්වයකි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වූයේ වසංගත තත්ත්වය නිසා අහිමි වූ ජීවිත පිළිබඳ තමා හදපිරි කම්පාවට පත්වන බවයි.

කොවිඩ් වසංගතය හමුවේ බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් මරණය වාර්තා වූයේ 2020 මාර්තු මස ය. ඒ අනුව, මාස දහයක් තුළ මරණ ලක්ෂය ඉක්මවා වාර්තා වීම එරට සෞඛ්‍යය අවදානම් තත්ත්වය පිළිබඳ බරපතල කියවීමක් සිදුකරනු ලබයි.

ඉකුත් වසරේ මාර්තු මස 17 වන දින රජයේ ප්‍රධාන විද්‍යා උපදේශක ශ්‍රීමත් පැට්‍රික් වලන්ස් මහතා ප්‍රකාශ කර තිබුණේ වසංගත තත්ත්වයේ බරපතලභාවය අනුව මරණ සංඛ්‍යාව විසි දහසට අඩු මට්ටමකින් පවත්වා ගැනීමට හැකිවන්නේ නම් එය යහපත් ප්‍රතිඵලයක් වනු ඇති බවයි.

කෙසේ වෙතත් ඉහත දත්ත ඇසුරින් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය අංශ වල කාර්යභාරය දෙගුණ තෙගුණ නොව සියගුණයකින් සංකීර්ණ වනු ඇත.

අද (26) දින වන විට නව ආසාදන 20,089 ක් එරටින් වාර්තා වී තිබූ අතර, එය 2021 වසරේ දිනකට වාර්තා වූ අවම නව ආසාදන සංඛ්‍යාව ලෙස දැක්වේ.

මේ වන විට බ්‍රිතාන්‍යය සම්පූර්ණයෙන් ම පාහේ වසා දැමීමට පියවර ගෙන ඇති අතර, කොවිඩ් එන්නත ලබා දීම ද සිදුවෙයි. පුද්ගලයින් 6,853,327 කට එන්නත ලබා දීමට කටයුතු කර තිබේ.

මෙසේ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉතා සුළු කාලයක් ඇතුලත දෙගුණය ඉක්මවා යාම සම්බන්ධයෙන් රජය ඇතුළු සෞඛ්‍ය අංශ සිය අව්‍යාජ කණගාටුව හා කම්පාව ප්‍රකාශ කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවද දන්වා ඇත.

ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නත, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් සොයාගත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙන්ම මොඩෙර්නා එන්නත ද බ්‍රිතාන්‍යය තුළ ලබා දීම සිදුවෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි