×

යුක්රේනයේ සපොරිසියා න්‍යෂ්ඨික බලාගාරයේ වැඩකටයුතු නවතී!

න්‍යෂ්ඨික වශයෙන් සංවේදී කලාපයේ යුධ ගැටුම් වලට රුසියාව - යුක්රේනය එකිනෙකාට ඇඟිලි දිගුකර ගනිද්දී, බලාගාරයේ වැඩකටයුතු නවතී..


යුක්රේනයේ පිහිටා ඇති මේ වන විට රුසියානු හමුදා විසින් අල්ලා ගෙන ඇති සපොරිසියා (Zaporizhzhia) න්‍යෂ්ඨික බලාගාරයේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව එරට නිල රාජ්‍ය න්‍යෂ්ඨික බලාගාර නියාමක ආයතනය වන එනර්ගෝතොම් (Energoatom) ප්‍රකාශ කර සිටියි.

අද (11) දින එම ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

සපොරිසියා න්‍යෂ්ඨික බලාගාරයේ සයවන ඒකකය ජාතික පද්ධතියෙන් විසංධි කිරීමට එනර්ගෝතොම් ආයතනය කටයුතු කර ඇත.

ආරක්ෂාව පතා මෙම න්‍යෂ්ඨික බලාගාරය පිහිටා ඇති ප්‍රදේශයේ වෙසෙන ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්ව යාමට යුක්රේන රජය ඉල්ලා සිටී.

මෙම කලාපය තුළ සන්නද්ධ මෙහෙයුම් සිදුවීම හමුවේ නිර්මාණය විය හැකි අතිබිහිසුණු ප්‍රතිවිපාක පිළිබඳව යුක්රේනය රුසියාවට ඇඟිල්ල දිගුකරමින් කර සිටින අතර, රුසියාව යුක්රේනයට ඇඟිල්ල දිගුකරමින් සිටී.

මෙම කලාපය තුළ මතුව ඇති සන්නද්ධ මෙහෙයුම් නිසා 80 දශකයේ අගභාගයේ සිදුවූ ෂර්නොබිල් විනාශය හා සමානම විනාශයක් නැවත සිදුවිය හැකි බවට යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි විසින් අනතුරු අඟවා තිබේ.

එබැවින් අදාළ කලාපය මිලිටරිකරණයෙන් මුදවා ගන්නා ලෙස යුක්රේන ජනපතිවරයා ඉල්ලා සිටියි.

ෂර්නොබිල් විනාශයේ මූලික වගකීම එවකට පැවති සෝවියට් සමූහාණ්ඩුව භාරගත් අතර, ඉන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අදටත් නිශ්චිතව ගණනය කර නැත.

ඡායාරූප: රොයිටර්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි