×

ජගත් සංවිධාන මහලේකම් ලෙස අන්තෝනියෝ ගුටරෙස් දෙවැනි වරටත් තේරී පත්වෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙවත් ජගත් සංවිධානයේ මහලේකම්වරයා වශයෙන් අන්තෝනියෝ ගුටරෙස් දෙවන වරටත් ඒකමතික ලෙස තේරී පත් විය.


සාමාජිකයන් 193 දෙනෙකුගෙන් සමන්විත ජගත් සංවිධාන මහ මණ්ඩලයේදී තවත් වසර 5 ක ධුර කාලයක් සඳහා ඔහු මෙසේ සුදුසුකම් ලැබුවේය.

72 හැවිරිදි පෘතුගීසි ජාතිකයෙක් වන අන්තෝනියෝ ගුටරෙස්, ජගත් සංවිධාන මහලේකම් තනතුර සඳහා මෙවර ඉදිරිපත් වූ එකම අපේක්ෂකයා ද විය. ඔහුගේ නම මේ සඳහා යෝජනා කරනු ලැබුවේ සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ජගත් සංවිධාන ආරක්ෂක මණ්ඩලය විසිනි.

2017 වසරේ ජනවාරි මාසයේ දකුණු කොරියානු ජාතික බාන් කී මූන්ගෙන් පසුව අන්තෝනියෝ ගුටරෙස් මෙම ධුරයට පත් විය. මෙම පත්වීම සිදුවන්නේ ඇමරිකා එක්සත් ජනපදෙය් ජනපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වීමට සති කිහිපයකට පෙර ය. අවසානයේ ඔහුගේ පළමු ධුර කාලයෙන් වැඩි කොටස ගත වූයේ ජගත් සංවිධානයේ වලංගුභාවය සහ බහුජාතිකබව නිරන්තරයෙන් ප්‍රශ්න කළ ට්‍රම්ප්ට පිළිතුරු දීමට ය. ජගත් සංවිධානයේ විධිමත් අයවැයෙන් 22%ක් සහ, සාමසාධක අයවැයෙන් 25%ක් ලබාදෙන්නේ ඇමරිකාව විසින් විම නිසා මෙසේ කිරීම අත්‍යාවශ්‍ය විය. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ ජගත් සංවිධානයට ලබාදුන් අරමුදල්වලින් සැලකිය යුතු කොටසක් කපා හැරීම සිදුවිය. නව ජනපති ජෝ බයිඩන්, එම අරමුදල් කපා හැරීම් යථා තත්වයට පත් කිරීමට උත්සාහ ගනිමින් සිටියි.

1995 සිට 2002 දක්වා පෘතුගාලයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අන්තෝනියෝ ගුටරෙස්, 2005 සිට 2015 වසර දක්වා එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය. දේශගුණික විපර්යාස, කෝවිඩ්-19 වැක්සින සහ ඩිජිටල් සහයෝගිතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇප කැප වූ නායකයෙකු ලෙස ඔහු ප්‍රකට ය.

ලෝකයේ බලවත්ම අන්තර්ජාතික සංවිධානයේ කටකලියාව දෙවන වරටත් ඔහු අතට පත් වන්නේ ලෝකය සිරියාව සහ යේමනයේ මානුෂීය ඛේදවාචක මැඬලීමට අරගල කරමින් සිටින අතරවාරයේ ය. තවද මියැන්මාරය සහ ඉතියෝපියාවේ ටිග්රේ කලාපයේ හදිසි තත්වයන් ඇති වී තිබෙන අවස්ථාවක ය. ඒ සියල්ලටමත් වඩා කෝවිඩ්-19 වසංගතය ලෝකය තවදුරටත් භීතියට පත් කරමින් සිටින කාල වකවානුවක ය.

ඔහුගේ දෙවැනි ධුර කාලය 2022 ජනවාරි 1 වැනිදා පටන් ඇරඹීමට නියමිත ය.

සිය දෙවැනි ධුර කාලයේ තේමාව ‘‘ගැටුම්, දේශගුණික වෙනස්කම් සහ වසංගතවල සිට දුප්පත්කම සහ අසමානාත්මතාවය දක්වා සියලු අංශ වැළැක්වීම‘ බව ජගත් සංවිධාන මහලේකම්වරයා සඳහන් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි