×

‘මියන්මාර හමුදා රජය වහාම ප්‍රජාතන්ත්‍රවාදය වෙත යා යුතුයි’ -එක්සත් ජාතීන්ගේ මහලේකම්

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ පිළිබඳ ප්‍රකාශ කර තිබුණේ මියන්මාරයේ තත්වය මිනිසුන්ට නොනවතින බියකරු සිහිනයක් වන අතර කලාපය පුරා සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් බවයි.


මියන්මාරයේ පවතින වත්මන් තත්ත්වය කලාපයේ සාමයට බලවත් තර්ජනයක් බව සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මියන්මාර හමුදා රජය වහාම ප්‍රජාතන්ත්‍රවාදය වෙත ආපසු යා යුතු බවට අවධාරණය කර තිබේ.


පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අවුන් සාන් සුකීගේ සිවිල් රජය පලවා හරිමින් දහස් ගණනක් ඝාතනය කරමින් ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් හ්ලේන්ග් රාජ්‍ය පැහැර ගැනීමත් සමඟ සිවිල් වැසියන් 2,400 කට වැඩි පිරිසක් මරා දමා ඇති අතර, එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය ඇස්තමේන්තු කර ඇති පරිදි මිලියනයක ජනතාවක් අවතැන් වී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ පිළිබඳ ප්‍රකාශ කර තිබුණේ මියන්මාරයේ තත්වය මිනිසුන්ට නොනවතින බියකරු සිහිනයක් වන අතර කලාපය පුරා සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් බවයි.


ඒ අනුව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ජනතාවට ඇහුම්කන් දෙන ලෙසත්, දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තිය වහාම යථා තත්ත්වයට පත් කරන ලෙසත් ය.


මෙම පවතින තත්වය වඩාත් උග්‍ර වීමට අසාර්ථක රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් ගෙන ඇති අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමයේ (ASEAN) හේතු වී ඇත. පසුගිය අප්‍රේල් මාසයේදී මියන්මාරයේ පවතින ව්‍යාකූලත්වය සමතයකට පත් කිරීමට යෝජනා පහක් පිළිබඳ යම් එකඟ.ාවයකට පැමැණියද මේ වන තෙක් එය නොසලකා හැර තිබේ. සමුළුවේදී මේ පිළිබඳව කලකිරුණු ආසියාන් නායකයින් සම්මුතිය ක්‍රියාවට නැංවීම සඳහා සංයුක්ත සැලැස්මක් ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ගේ විදේශ ඇමතිවරුන්ට පැවරා තිබිණ.


මෑත සතිවල මියන්මාරයේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වී ඇති අතර පාසලක් සහ ප්‍රසංගයක් ඇතුළු සිවිල් ඉලක්ක වෙත මාරාන්තික මිලිටරි ගුවන් ප්‍රහාර එල්ල ව තිබේ. ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීම වෙනුවෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමයේ නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.


එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත මියන්මාර මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ මියන්මාරය සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු පවසා ඇත්තේ මෙම මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වීමට අවස්ථාවක් නොමැති බවයි.

සශිකලා මධුෂෘණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි