×

Update: ට්‍රම්ප් ආධාරකරුවෝ ආයුධ සන්නද්ධව ඡන්ද ගණන් කිරීමේ ස්ථාන වටලති

‘‘ඡන්ද සොරකම් කිරීම නවත්වන්න‘‘ යනුවෙන් ඝෝෂා කරමින් ඇතැම් ට්‍රම්ප් ආධාරකරුවන් ඡන්දය ගණන් කිරීමේ ස්ථාන ඉදිරියට වී සිටින බව නවතම වාර්තාවල සඳහන් වේ.


ඇරිසෝනා ජනපදයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ඉදිරියේ සිටින ඇතැමෙක් රයිෆල් සහ අත් තුවක්කුවලින්සන්නද්ධ වී සිටින බව ද වාර්තා වේ.

“Stop the steal!” සහ “We want Trump” වැනි සටන් පාඨ කියමින් සිටින ඔවුන්ගේ බහුතරය දැඩි කෝවිඩ් අවදානම නොතකා මුහුණු වැසුම් පළඳින්නේ නැති බව ද ස්කයි නිව්ස් පුවත් සේවය අනාවරණය කරයි.

ඇරිසෝනා ජනපදයේ දැනට ප්‍රකාශ වෙමින් පවතින ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් කුඩා ඡන්ද සංඛ්‍යාවකින් ඉදිරියෙන් සිටීම, ට්‍රම්ප් ආධාරකරුවන්ගේ කෝපයට හේතු වී තිබේ.

බයිඩන් ඇරිසෝනා ජනපදය ජයග්‍රහණය කළහොත් එයින් ඩිමොක්‍රටික් පක්ෂයට ඉලෙක්ට්‍රෝරල් ඡන්ද 11 ක් හිමිවනු ඇත. එසේ වුවහොත් දැනට ජනපති පදවිය සඳහා ඔහුට අඩුව තිබෙන ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි ඡන්ද 6 එතැනින්ම සම්පූර්ණ වේ.

එහි ඡන්ද ගණන් කිරීම 88%කින් මේ වන විට අවසන් වී තිබේ.

මේ වන විට බයිඩන් ජෝර්ජියා ජනපදය ද ජයග්‍රහණය කරමින් සිටියි. ඔහු එසේ කිරීමට සමත් වුවහොත් ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි ඔහුගේ ඡන්ද සංඛ්‍යාව 269 ක් බවට පත් වනු ඇත.

ඒ අනුව බොහෝ විට මීළඟ ඇමරිකානු ජනාධිපතිවරයා බයිඩන්දැයි තීරණය වනු ඇත්තේ මතභේදයට තුඩු දී ඇති ඇරිසෝනා ජනපදයේ අවසන් ප්‍රතිඵලයත් සමග ය.

නවතම පුවත් සඳහා රැඳී සිටින්න.

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි