×

ලෙබනන – ඊශ්‍රායල සමුද්‍ර ගැටළුව විසඳීමට ඇමරිකානු නියෝජිතයෙක් ලෙබනනයට!

ලෙබනනයේ මතුව ඇති බලශක්ති අර්බුදයට පිළියම් යෙදීමට ඊශ්‍රායලය සමඟ එක්ව කටයුතු කිරීමට එක්සත් ජනපදය සූදානම් වන බවට වාර්තා වේ.


ඒ අනුව, එළඹෙන සතියේදී ලෙබනනයේ බේරූට් සහ ඊශ්‍රායලය අතර පවතින මතභේදාත්මක සමුද්‍ර සීමාව පිළිබඳ තීරණය කිරීමට එක්සත් ජනපදයේ නියෝජිතයකු ලෙබනනයට එවීමට බලාපොරොත්තු වන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊශ්‍රායල – ලෙබනන සමුද්‍ර සීමාවේ අයිතිය පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක් පවතින අතර, එම සමුද්‍රයේ සංචිත ඉන්ධන ලබා ගැනීම හමුවේ දෙරට අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව සඳහන්.

මෙම සමුද්‍ර සීමාවට අයිතාවාසිකම් කීම අතින් දෙරට අතර ඇති ගැටුම්කාරී තත්ත්වය දශකයකට වැඩි කාලයක් තිස්සේ පවතින අතර, ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් මෙතෙක් සිදුවී නැත.

මෙම සීමාව හවුල්කාරීත්වයෙන් පවත්වා ගැනීමට දෙරට එකඟ නොවන අතර, වර්ග කිලෝමීටර සිය ගණනක සාගර භූමි ප්‍රමාණයක් නිසා ඩොලර් බිලියන ගණනක ඉන්ධන අහිමි වීමේ අවදානමක් ලෙබනනයට පවතී.

ලෙබනනයේ අක්වෙරළ තෙල් හා ගෑස් සංචිතවල පමණක් වටිනාකම ඩොලර් බිලියන 250 පමණ වන අතර, එය 2020 දී ලෙබනනයේ දළ දේශීය නිශ්පාදිතය මෙන් අට ගුණයක් බව කියවේ.

මෙම පසුබිම තුළ ලෙබනනයේ උග්‍ර බලශක්ති අර්බුදයක් මතුව ඇති අතර, තත්ත්වය සමනය කිරීමට අතරමැදියකු ලෙස එක්සත් ජනපදය මැදිහත් වීම ආරම්භ වන්නේ 2020 වර්ෂයේ ය.

එම පදනම මතයි ඉහත කී නියෝජිතයා එළඹෙන සතියේ ලෙබනනයට පැමිණීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව මෙම නියෝජිතයා ජූනි 13 – 14 යන දෙදින තුළ ලෙබනනයේ සංචාරයක නිරත වීමට සූදානම් ය.

ලෙබනනය සහ ඊශ්‍රායලය යන රටවල් දෙකටම සහ එම කලාපයට වැඩි ස්ථාවරත්වයක්, ආරක්ෂාවක් සහ සමෘද්ධියක් උදාකර දීමට හැකියාව ලබාගනිමින් මෙම සමුද්‍ර සීමාව ගැන අවසාන තීරණයකට එළඹීමට අවශ්‍ය උපදේශනය ලබාදීමට තමා සූදානම් බවද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළේය.

ඡායාරූප: ඒඑෆ්පී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි