×

ඇමරිකානු රූපවාහිනී නිවේදන ක්ෂේත්‍රයේ සක්විති ලැරී කින්ග් දිවියෙන් සමුගනී

ඇසිය යුතු යමක් පවතීද, ඉදිරිපත් කළ යුතු යෝජනාවක් හෝ චෝදනාවක් පවතීද, එය සරල ඉංග්‍රීසියෙන්, සන්සුන් විලාශයෙන් මුහුණටම ඉදිරිපත් කිරීම ලැරී කින්ගේ නිවේදන ශෛලයයි.


ඇමරිකානු ජාතික රූපවාහිනී ධාරාව තුළ නිවේදන ක්ෂේත්‍රයේ සක්විති මෙන් සැලකූ ලැරී කින්ග් මහතා දිවියෙන් සමුගෙන තිබේ.

ඉකුත් දෙසැම්බර් මස කොවිඩ් ආසාදනයට ලක්වීම තුළ ලොස් ඇන්ජලිස් හි රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 87 වන වියේ පසුවිය.

මරණයට හේතුව මෙතෙක් නිශ්චිත ව ප්‍රකාශයට පත්කර නැත.

මිය යන විට ලොස් ඇන්ජලිස් හි සෙඩාර්ස්-සිනායි වෛද්‍ය මධ්‍යස්ථානයේ ඒ මහතා ප්‍රතිකාර ලබමින් සිටි බවට වාර්තා වේ.

60 වසරකට අධික සිය මාධ්‍යවේදී ජීවිතය තුළ එක්සත් ජනපදයේ ජනප්‍රිය චරිත ඇතුළු විවිධ සම්මුඛ සාකච්ඡා 50,000 කට අධික සංඛ්‍යාවක් හොබවා ඇති ඒ මහතා වඩාත් ප්‍රසිද්ධ ලැරී කින්ග් ලයිව් නම් වැඩසටහන හරහා ය.

ලැරී කින්ග් ඇමරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන් සමඟ

ගතවූ වසර කිහිපය තුළ අදියර-2 හි දියවැඩියා තත්ත්වයෙන් ද පෙනහළු පිළිකා තත්ත්වයකින් ද හෘද්‍යාබාධ තත්ත්වයන්ගෙන් ද පෙලි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලැරී කින්ග් ගේ වේදිකාව බාල මහළු මෙන්ම තරාතිරම අතින්ද ලොකු කුඩා සැමට එක හා සමානව ඉඩ සැලසූ අපක්ෂපාතී මෙන්ම අද්විතීය ස්ථානයක් බවට අනාදිමත් කලක පටන් සීඑන්එන් පුවත් සේවය නරඹන කාටත් හොඳින් මතක ය.

ලෝක නායකයින්, දේශපාලඥයින්, කලාකරුවන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පුද්ගලයින් රැසක් ලැරී කින්ගේ ගේ සම්මුඛ සාකච්ඡාවන්ට බඳුන් වූ පුද්ගලයින් අතර සිටී.

ලැරී කින්ග් සුපිරි හොලිවුඩ් නළු ටොම් කෘෘස් සමඟ

සීඑන්එන් නාලිකාව උග්‍ර ඩිමොක්‍රටික් වාදී වේදිකාවක් බවට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා ලැබ තිබුණ ද, ලැරී කින්ග් යනු එවන් චෝදනා බිඳ දැමීමට සෑම පාර්ශවයකට ම එක හා සමානව අවස්ථාව ලබාදුන් මාධ්‍ය ක්‍රියාධරයෙකි.

ඒ අනුව ඇමරිකානු දේශපාලනික මත ගැටුම් මධ්‍යයේ ලැරී කින්ග් යනු වාමාංශික මෙන්ම දක්ෂිණාංශික දේශපාලන ධාරාවන්ගේ ද එක හා සමානව පැසසුමට ලක්වූ පුද්ගලයෙකි.

මාධ්‍යකරණයේ ස්වර්ණමය යුගය ආරම්භ වූ 60 දශකයේ පටන් වර්තමානය දක්වා ගුවන් විදුලිය, රූපවාහිනිය, ඩිජිටල් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා රැසක ලැරී කින්ග් සක්‍රිය දායකත්වයක් සැපයූ ක්‍රියාධරයෙකි.

ලැරී කින්ග් හිටපු ජනපති එවකට ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ

ජනප්‍රිය චරිත මුහුණට මුහුණ සම්මුඛ සාකච්ඡාවට ලක්කිරීමේ කලාව ඔහු ආරම්භ කරන ලද්දේ 70 දශකයේ ද ලැරී කින්ග් ‍ෂෝ නම් වැඩසටහන හරහා ය.

ඇසිය යුතු යමක් පවතීද, ඉදිරිපත් කළ යුතු යෝජනාවක් හෝ චෝදනාවක් පවතීද, එය සරල ඉංග්‍රීසියෙන්, සන්සුන් විලාශයෙන් මුහුණටම ඉදිරිපත් කිරීම ලැරී කින්ගේ නිවේදන ශෛලයයි.

ඡායාරූප: Sky News



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි