×

G7 සමුළුව කාටද? මොකටද? ඔබ දැන ගත යුතුම තතු

මේ වන විට ලෝකයේ අවධානයට යොමුව ඇති, එක්සත් රාජධානියේ කෝන්වෝල්හි පැවැත්වෙන G7 සමුළුවේ ඉතිහාසය, එයට ඇති බලතල සහ ලෝකයට එයින් වන බලපෑම පිළිබඳ සවිස්තරාත්මක ලිපියකි, මේ


ලෝකයේ ධනවත්ම ලිබරල් ප්‍රජානත්ත්‍රවාදයන් 7 එකට එකතු වන අවස්ථාව G7 හෙවත් ‘හත්දෙනාගේ කණ්ඩායමේ‘ සාකච්ඡාවයි. මේ සමග දැක්වෙන ප්‍රධාන ඡායාරූපය, 1957 නොවැම්බර් 15 වැනිදා ගනු ලැබුවකි. ලෝකයේ පළමු මූල්‍ය ප්‍රතිපත්ති G7 සමුළුව ලෙස මෙය හැඳින්වේ. වම් පස සිට පිළිවෙළින්, එක්සත් රාජධානියේ James Callaghan, ඇමරිකානු රාජ්‍ය ලේකම් Henry Kissinger, ඇමරිකානු ජනපති ජෙරාල්ඩ් ෆෝර්ඩ්, ජර්මානු චාන්සලර් හෙල්මුට් ෂ්මිට්ඩ්, ප්‍රංශ විදේශ ඇමති Jean Sauvagnargues, ප්‍රංශ ජනපති Valery Giscard d’Estaing, ප්‍රංශ ආර්ථික ඇමති Jean-Pierre Fourcade සහ ඉතාලියේ මරියෝ රූමර් මෙයට සහභාගි වූහ.

G7 යනු කුමක්ද?

Group of Seven හෙවත් ‘හත් දෙනාගේ කණ්ඩායම‘ යන්න කෙටි කර G7 යනුවෙන් හඳුන්වයි. ලෝකයේ විශාලතම ආර්ථිකයන් 7 ක් ව කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය මෙසේ වාර්ෂිකව එක්වෙති.

2014 ට පෙර මෙය G8 සමුළුවයි

2014 වසර දක්වා රුසියාව ද මෙම කණ්ඩායමේ සාමාජිකයෙක් විය. නමුත් 2014 වසරේදී රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගැනීමත් සමග සෙසු සාමාජිකයන් විසින් රුසියාව ඒකමතිකව කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබිණි. මෙම ක්‍රිමියානු ප්‍රශ්නය, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපියානු රටක දේශසීමාවක් උල්ලංඝනය වූ පළමු අවස්ථාවයි.

2017 මැයි 26 දා ඉතාලියේ සිසිලි දූපතේ පැවැත්වූ G7 සමුළුව.

G7 කරන්නේ කුමක්ද?

සෑම වසරකම සමුළුවක් පවත්වමින් එක් රැස් වී G7 සාමාජිකයෝ ගෝලීය වශයෙන් පීඩනයක් එල්ල කර ඇති ගැටළු සාකච්ඡා කරති. ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ගැන තීරණ ගනිති. අන්තර්ජාතික ආරක්ෂාව සහ ලෝක ආර්ථිකය සාමාන්‍යයෙන් මෙහි ප්‍රමුඛ මාතෘකා වේ. නමුත් මේ වසරේ සමුළුවේ අවධානය කෝවිඩ් වසංගතය වෙත යොමු වේ යැයි අපේක්ෂා කෙරේ.

ලෝකයේ වඩාත්ම කාර්මීකරණය වූ ජාතීන් හතේ ආර්ථික සමුළුව ලෙස ද ඇතැම්විට G7 සමුළුව හැඳින්වේ.

2015 ජූනි 8 වැනිදා ජර්මනියේ පැවැත්වූ G7 සමුළුව. මෙවර එයට ඇමරිකාවෙන් සහභාගි වූයේ බරාක් ඔබාමා ජනාධිපතිවරයා ය.

G7 ට කළ හැක්කේ මොනවාද?

ගෝලීය බලපෑමක් සහිත ගැටළු සඳහා ප්‍රතිපත්තිමය සම්බන්ධීකරණය සාකච්ඡා කර ගැනීම මෙයට කළ හැකිය. උදාහරණයක් වශයෙන් මේ වසරේ G7 සමුළුවේදී මුලින් සාකච්ඡා කිරීමට තීරණය වී තිබුණේ බහුජාතික සමාගම්වලට 15%ක ගෝලීය අවම බද්දක් අය කිරීමට ය. ඒ සඳහා රටවල් හතේම මුදල්/ආර්ථික අමාත්‍යවරු එකඟ වී සිටියහ. තවද සිය රටවල තිබෙන විශාලතම සමාගම් බදු ගෙවිය යුත්තේ ඔවුන්ගේ භෞතික පැවැත්ම නිසා පමණක් නොව, ඔවුන් විසින් ඉහළ අලෙවියක් සිදුකිරීම නිසා බව ද සාකච්ඡා කෙරිණි. මේ සම්බන්ධයෙන් ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් කියා තිබුණේ ‘‘ලාභය විදේශ රටවලට ගෙන යාම මගින් බදු පැහැර හැරීම සිදුකරන සමාගම් සම්බන්ධයෙන් ධනවත් ආර්ථිකයන් මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව‘ යි. සාමාන්‍ය යෙන් මෙවැනි ප්‍රතිපත්තිමය තීරණයක් මෙම සමුළුවේදී ගත් විට එය ක්‍රියාත්මක කිරීමට ඔවුහු බැඳී සිටිති.

G7 සමුළුවේ ඉතිහාසය

මෙම හමුව පටන් ගත්තේ ‘ලිබර්ටි ගෘෘප්‘ යනුවෙනි. 70 දශකයේදී එවකට ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජෝර්ජ් ෂූල්ට්ස් විසින් මෙයට පදනම දැමුවේය.

මූල්‍ය ඒකකවල සිදුවන චලනයන් ස්ථායි කර ගැනීම සඳහා නිල නොලත් සහ අවිධිමත් “fireside chats” මගින් සිදුකෙරිණි. මෙම ප්‍රථම සාකච්ඡාවලට එක්ව සිටියේ ඇමරිකාවේ, ප්‍රංශයේ, ජර්මනියේ සහ එක්සත් රාජධානියේ මුදල් අමාත්‍යවරුන් ය. පසුව 1975 වසරේ ජපානය ද මෙයට එක් විය. මෙම රැස්වීම් ඉක්මනින්ම රාජ්‍ය නායකයන්ගේ හමුවීම් බවට පත් විය. කැනඩාව සහ ඉතාලිය ද ඉන්පසු එයට එක් විය. ඒ අනුව එය Group of Seven බවට පත් විය.

1980 ජූනි 22 වැනිදා ඉතාලි වැනිසියේ සැන් ජියෝජියෝ හි පැවති G7 සමුළුව. මේ, ඇමරිකානු ජනපති ජිමී කාටර් සහ ‘යකඩ ගැහැනිය‘ යැයි විරුදාවලි ලත් එක්සත් රාජධානි අගමැතිනිය මාග්‍රට් තැචර් ගේ බලය ලොව පුරා පැතිර තිබූ යුගයයි.

CNN: What is the G7, and what power does it hold?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි