×

නොබෙල් සාම ත්‍යාගය දිනූ ඉතියෝපියාවේ ‘නෙල්සන් මැන්ඩෙලා’- ‘අගමැති අබී’ අපට කියන කතාව

නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට තරම් ඉතියෝපියානු අගමැති කළේ කුමක්ද?


ඉතියෝපියානු අගමැති අබී අහ්මද් (Abiy Ahmed) විසින් 2019 නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීම පුවත් මවා තිබේ. ඔහු ඒ සා විශාල ගෞරවයකට පාත්‍ර වීමට තරම් ඔහු කළ මෙහෙවර කුමක්දැයි ලෝකය දැන් අසයි. මේ ඒ ගැන කෙටි සටහනකි.

අබී අහ්මද්, සිය රට වන ඉතියෝපියාව, අසල්වැසි එරිත්‍රියාව සමග පැටලී තිබූ යුද්ධය සදහටම නවතා දැමුවේය. ආයුධ බලයෙන් නොවේ. සාමයේ බලයෙනි.

ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර දරුණුතම යුධ සටන් පැවතුණේ 1998-2000 දෙවසර තුළ ය. එය දේශසීමා යුද්ධයකි. මිනිස්සු දස දහස් ගණනක් එයින් මිය ගියහ. ලක්ෂ ගණනක් අභ්‍යන්තර වශයෙන් අවතැන් වූහ.

මේ කාලයේදී මේ රටවල් දෙකම අති දුප්පත් ය. යුද්ධය විසින් දෙරටේම ආර්ථිකය තවදුරටත් අඩපණ කර දැමිණි. එය සංවර්ධනයට විලංගු දැමුවේය. දෙරටේම සිටියෝ දේශප්‍රේමිත්වයෙන් ඔද වැඩී ගිය යුධ කාමියෝ ය. ඔවුන්ට යුද්ධය ජය ගැනීමකින් තොර සාමයක් ගැන සිතන්නට හැකි වුණේ නැත.

වසර 2000 දී යුද්ධය නාමික වශයෙන් අවසන් වුවද ‘යුධ මුක්ත කලාප‘ හුදෙක් නමට පමණක් විය. ඒවායේ දකින දකින තැන සිටියෝ සොල්දාදුවෝ ය. කොල පාට පැල්ලම් ඇති නිල ඇඳුම්ධාරියෝ ය.

වසර 18කට පසු තත්වය වෙනස් විය. 2018 අප්‍රේල් මාසයේ අබී අහ්මද් ඉතියෝපියාවේ නව අගමැති බවට පත්විය.

ඔහු එරිත්‍රියානු නායකයන් සමග සිනාමුසු මුහුණින් සහ ප්‍රසන්න කමින් යුතුව කතා බස් කළේය. යුද්ධයෙන් කිසිවෙක් නොදිනන බව පැවසුවේය. ඔහුගේ මාවත වූයේ සාමයේ මාවතයි. ඔහු නිත්‍ය ලෙසම එරිත්‍රියාවට සාමයේ දෑත දිගු කළේය.

Ethiopian Prime Minister Abiy Ahmed and Eritrean President Isaias Afwerki celebrate the reopening of the Embassy of Eritrea in Ethiopia in Addis Ababa on July 16, 2018.

දශක ගණනක යුද්ධය නිම විය. ඉතියෝපියාවෙන් අලුත් මැන්ඩෙලා කෙනෙක් බිහිවෙමින් සිටියේය.

‘ජාතිය‘ නොව ‘රට‘ සුවපත් කළ නායකයා

ඔහු අදිටන් කර ගෙන සිටියේ තමන් ඉපදුණු රට සුවපත් කරන්නට ය.

ඔහු පැවතගෙන එන්නේ ඉතියෝපියාවේ වාර්ගික ජන කණ්ඩායමක් වන ඔරොමෝවරුන්ගෙනි. ඔරෝමෝ වරයෙක් ඉතියෝපියාව පාලනය කරන්නේ ඉතිහාසයේ පළමු වතාවට ය. එසේ තිබියදීත් ඔහුට රට තුළ වර්ගවාදය හෝ ජාතිවාදය ඇවිස්සීමට අවශ්‍ය වුණේ නැත. ඔහුගේ ජාතිය ඉස්මතු කරමින් ඔහුගේ බලයෙන් අයුතු වාසි ගන්නට තැත් කළ ඊනියා දේශප්‍රේමියෝ මේ නැගෙනහිර අප්‍රිකානු දේශය තුළ අති බහුලව සිටියහ. රට පුරා ඔහුට විරුද්ධව උද්ඝෝෂණ හටගත් සමයක් ද තිබුණේය. නමුත් අබී ඒවා පරාජය කළේය.

ඔහුගේ ඉලක්කය වුණේ ‘ජාතිය සුවපත්කිරීම‘ නොව ‘රට සුවපත් කිරීම‘ යි.

ඔහු දේශපාලන සිරකරුවන් දස දහස් සංඛ්‍යාවක් සිරගෙවල්වලින් මුදා හැරියේය. නිදහසේ සතුට ඔවුන්ට ද හිමි බව ඒත්තු ගැන්වූයේය. පළි ගැනීමෙන් වැළකී සිටින ලෙසට සිය ආරක්ෂක අංශවලට හැම විටම උපදෙස් දුන්නේය.

අවසානයේ විසම්මුතිකවාදීන් ද මාධ්‍යවේදීන්ද යුග ගණන් රඳවා වධ දුන් අපකීර්තිමත් අඩිස් අබාබා බන්ධනාගාරය අබී වසා දැමුවේය.

ඒ අතරම, යුද්ධය අවසන් කිරීමේ ජය පැන් බොන්නට රටේ මහජන මුදල් කාබාසීනියා කිරීමෙන් ඔහු වැළකී සිටියේය. ඔහු නිත්‍ය ලෙසම රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ගෙන ආවේය. සිදු කෙරෙමින් තිබුණු සංවර්ධන වැඩකටයුතු සඳහා එකිනෙකාට ඇඟිල්ල දිගු කරනු වෙනුවට ඒ සංවර්ධන කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයන්නට විය.

මේ අතරේ වසර 41කට පසු ඉතියෝපියානු ගුවන් යානාවක් සෝමාලියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොළට ගොඩ බැස්සේය. රතු මුහුද ආශ්‍රිතව පිහිටා ඇති ගල්ෆ් අරාබි රටවල්ද, අප්‍රිකානු තුඩුවේ සාමාජිකයන් ද කොන්දේසි විරහිතව ඉතියෝපියාව දෙස විමසිලිමත් වූහ.

කාන්තාවන්ට සම තැන

Addis Standard

ඒ අතරේම, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය (Gender Equality) ගැන මහ ඉහළින් කතා කරන බටහිර රටවල් පවා පුදුමයෙන් නිරුත්තර කරන දෙයක් ද ඔහු කළේය.

මුලින්ම ඔහු ඉතියෝපියානු කැබිනට් මණ්ඩලය 20 දෙනෙකුට සීමා කළේය. ඉන්පසු එයින් 50%ක නියෝජනයක් කාන්තාවන් වෙත ලබා දුන්නේය! අප්‍රිකානුවන්ට කාපිරියන් කියන්නට ඉතා කැමති ලෝකයේ ශිෂ්ට යැයි කියන රටවලට පවා මෙවැනි දෙයක් ගැන තවම සිතාගන්නටවත් නොහැක!

ඉතියෝපියානු පාර්ලිමේන්තුවේ ප්‍රථම වතාවට කාන්තාවක වූ සහේල්-වර්ක් සෙව්දේ පාර්ලිමේන්තු සභාපතිනිය බවට පත්වූවාය. රටේ පළමු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරිය බවට සීසා අෂෙනාෆි පත් කළේය. අගමැති අබී සිටින තාක් කල් ඇයට පාර්ලිමේන්තුව ඉදිරියේ ගර්හාවට ලක්ව දෝෂාභියෝගයකින් ගෙදර යන්නට සිදු නොවනු ඇත!

Pope Francis meets Prime Minister of the Federal Democratic Republic of Ethiopia, Abiy Ahmed. Vatican City, January 21th, 2019 (photo by Grzegorz Galazka/Archivio Grzegorz Galazka/Mondadori via Getty Images)

ඔහු, රාජ්‍යය තවදුරටත් ප්‍රජාතන්ත්‍රීකරණය කළේය.

අවසානයේ නොබෙල් කමිටුව මේ අති මහත් ගෞරවය ඔහුට පුද දෙමින් කීවේ කුමක්ද? ‘‘සාමය අත්පත් කර ගැනීම, අන්තර්ජාතික සහයෝගිතාවය ලබාගැනීම සහ අසල්වැසි එරිත්‍රියාව සමග පැවති දේශසීමා අරගලය විසඳාගැනීමට කළ තීරණාත්මක මුලපිරීම හේතුවෙන්‘ මේ ගෞරවය පුද දෙන බවයි.

විමසිල්ලෙන් සිටින්න. ආසියාවට මෙන්ම අප්‍රිකාවට ද පොදු මජර දේශපාලන කුමන්ත්‍රණ විසින් මේ මිනිසා විනාශ නොවුණහොත්, ඉදිරි අවුරුදු 5 තුළ ඉතියෝපියාව අප්‍රිකාවේ සමෘද්ධිමත්ම දේශය බවට පත්වනු ඇත. එවිට ලාංකිකයන් වන අපට, ‘ඉතියෝපියාව වගේ‘ යන උපමාව යොදන්නට ඉතියෝපියාව නොවන වෙනත් රටක් සොයාගන්නට සිදුවනවා ඇත. ඇතැම් විට ඒ වෙනත් රට, අබී වැනි ජන නායකයන් බිහි වන්නට පිනක් නැති ඉන්දු සයුරේ කඳුළු බිංදුවමද විය හැකිය.

ප්‍රධාන ඡායාරූපය – © AFP via Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි