×

කුරුල්ලන්ගේ පියාසැරි අබිරහස හෙළි වෙයි. 

පක්ෂියෙක් මෙන් පියාසර කරනවා යනු ඇත්තෙන්ම කුමක්ද? එහි අරුත, රැහේ නායකයා අනුගමනය කරමින් ‘V’ හැඩයක් තනමින් කණ්ඩායමක් ලෙස නිදහසේ පියාසර කිරීමද?


විද්‍යා ලෝකයේ අලුත්ම හෙළිදරව්වට අනුව කුරුල්ලන් රංචුවක් හැම විටම ‘V’ හැඩය තනමින් පියාඹන්නේ අප සිතා සිටි එක් හේතුවක් නිසාවත් නොවේ.

එක්සත් රාජධානියේ රාජකීය පශු වෛද්‍ය පාසල එය සොයාගත්තේය. නේචර් ජර්නලයේ පළ වූ එම සොයාගැනීමට අනුව කුරුල්ලන් රංචුවක් හැමවිටම ‘V’ හැඩය තනමින් පියාසර කරන්නේ මන්ද යන්නට හොඳම පැහැදිලි කිරීම දැන් ලැබී තිබේ.

පළමු ඉඟිය ලැබී තිබුණේ පෙලිකන් පක්ෂීන් ඇසුරෙන් කළ පර්යේෂණයකදී ය. ඉංගී‍්‍රසි ‘V’ අකුරේ හැඩය තනමින් පියාඹන විට උන්ගේ හද ගැහෙන වේගය හෙවත් හෘද ස්පන්දන වේගය අඩුවන බව එයින් හෙළි විය. මේ අනුව පියැසැරියේ දී වැඩි ශක්ති ප්‍රමාණයක් ඉතිරි කර ගැනීම උන්ට හැකියාව ලැබේ.

ගුවන්යානා මෙන් ම පක්ෂීන්ගේ ද පියාසැරිය, වායු ප්‍රවාහ තරල සඳහා යොදන බර්නූලි මූලධර්මය ඇසුරෙන් විද්‍යාත්මක ව පැහැදිලි කළ හැක. මේ අනුව පක්ෂියකු පියාසර කරන විට පක්ෂි පියාපතට උඩින් ගලා යන හෙවත් ප්‍රවාහය වන වාතයේ වේගය, පියාපත යට වාතයේ වේගයට වඩා අධික ය. ගුවන්යානයක ද මෙය මෙසේ ම වේ. බර්නූලි මූලධර්මය අනුව එසේ වේගය වැඩිවන විට වායු පීඩනය අඩු වේ. පියාපත ඉහළට ඔසවන්නේ මේ පීඩන වෙනස විසිනි.

එහෙත් ‘V’ අකුරේ හැඩයට පියාසර කරන විට උන්ගෙන් බොහෝවිට දැකිය හැක්කේ එකම උස මට්ටමක් රඳවා ගැනීමකි. එවිට නායක කුරුල්ලාගේ ගමන් පථය අනුව, වාතය විසින් සිදුකරන ඇදීමේ බලය සහ උන්ගේ බර මත රැඳී පවතින තෙරපුම් බලයක් විසින් පක්ෂීන්ව වා තලය තුළින් ඉදිරියට තල්ලු කිරීම සිදුකරනු ලබයි.

පක්ෂී පියාපත සැලීමේදී එල්ල කරන යටි පහර, එම තෙරපුම් බලය ලබාදෙන ප්‍රධානතම අංගය වේ. මෙවිට පියාපත, ගැඹුරු කෝණයක් සාදමින් ඇළ වී යයි. මේ අතර ඉහළ පියාපත් සැලීමේදී එල්ල වන උඩුපහර මගින් මෙයට එරෙහිව ප්‍රතිරෝධයක් ඇති කර පියැසැරිය සමබර කිරීම ද සිදුකරයි.

දැන්, කුරුල්ලන් රංචුවක් එක්ව පියාසර කරන විට සිදුවන්නේ පිටුපස සිටින්නන් විසින් ඉදිරියෙන් සිටින්නන්ගේ පියාපත් චලනය අනුගමනය කිරීමයි. එය නිරුත්සාහයෙන් සිදුවන්නකි. එනම්, කුරුල්ලන් රංචුවක සිටින කිසිදු කුරුල්ලෙක් වෙනත් කුරුල්ලකුගේ යටි පහර එල්ල වන වායු කලාපයක පියාසර කිරීමට අකමැති ය.

එයට සරල හේතුව වන්නේ, එවිට එම බලය විසින් පක්ෂියාව පොළොව වෙත ඇද දමන නිසා ය. ‘අප්වොෂ්’ ලෙස ද හඳුන්වන, ඉදිරියෙන් යන පක්ෂියාගේ පියාපත්වලින් ඇතිවන උඩුකුරු තල්ලුව ට පිටුපසින් පැමිණෙන්නා වඩාත් කැමති වන්නේ එමගින් පියාසැරිය පහසු වන නිසා ය.

ඒ අනුව පිටුපසින් එන පක්ෂියා, ඉදිරියෙන් යන පක්ෂියාගේ පියාසැරිය අනුව සිය පියාපත් කෙසේ සෙලවිය යුතුදැයි අවබෝධ කර ගනියි. එයට ගැළපෙන සේ එවිට නිරුත්සාහයෙන්ම පියාපත් සැලෙයි. පියසැරියේ දී උන් ශක්තිය ඉතිරි කර ගන්නේ මේ ‘ගැළපීම’ මගිනි.

Photo: HPB


ඒ සඳහා උන් කුරුලු රංචුව තුළ හොඳම ස්ථානගත වීම සිදුකර ගනිති. එවිට කුරුලු රංචුවෙන් ඉබේටම වී හැඩයක් තැනේ. ඉතා සරල ව කියන්නේ නම් රංචුවක පියාඹන විට පක්ෂියාට, ඉදිරියෙන් යන්නා විසින් ජනිත කරන වායු ප්‍රවාහ රටාවේ පිහිටෙන් ශක්තිය වැය කිරීමකින් තොරව වායු ගෝලය තුළ එසවෙන්නට පුළුවන.

මිනිසා මුලින් ම ගුවන්යානා තැනුවේ පක්ෂීන් දෙස බලා ය. එයින් නොනැවතුණු මිනිසා ඉන්පසුව මිනිසුන් රහිත ගුවන්යානා හෙවත් උඒඍ ද තැනුවේය. පක්ෂි පියාසැරියේ මේ අලුත් සොයාගැනීම ද එම තාක්ෂණයට එක් කිරීමට සැලසුම් කර තිබේ.

මේ අනුව පක්ෂීන් ‘V’ හැඩය තනන විට ශක්තිය ඉතිරි කර ගැනීමේ රහස, ඉන්ධන ඉතිරි කර ගැනීම දක්වා විකසනය කිරීමට තීරණය වී ඇත. ගුවන්යානා ඛණ්ඩයක් ‘V’ හැඩයට පියාසර කරන විට ඉන්ධන ඉතිරියක් සිදුවන බවත් පියාසැරිය සුමට බවත් කලක පටන් දැන සිටි කරුණකි. එහෙත් පක්ෂීන් ද යොදාගන්නේ එම මූලධර්මයම බව මේ තාක් සොයාගෙන තිබුණේ නැත.

The Telegraph

දැන්, ගිම්හාන අහස දෙස බලා, එහි පියාසර කරන කුරුලු රංචු දෙස බලා නුඹේ රහස අප සොයාගත්තා යැයි උදම් ඇනීමට අපට පුළුවන. එහෙත් මිනිසා ඩොලර් බිලියන ගණන් වැය කර මහා පරිමාණ පර්යේෂණ ව්‍යාපෘති හරහා සිදුකරන තාක්ෂණික සොයාගැනීම් පක්ෂීහු උරුමයෙන් ලබති. උන් ට ඒ දැනුම ලැබුණේ කොතැනකින්ද? එ සොබාදහමේ තවත් සුන්දර ප්‍රහේලිකාවකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි