×

ට්‍රම්ප්ට විරෝධය පෑමට “විල් ඇන්ඩ් ග්‍රේස්” තරු හොලිවුඩ ආයෝජකයින් ගේ අසාදු ලේඛනයක් ඉදිරිපත් කිරීමට යෝජනා කරයි

"Will & Grace" තරු ඩෙබ්‍රා මෙසින්ග් හා එරික් මකෝර්මක් එරට ජනපති ට්‍රම්ප්ට සහය පළකරන හොලිවුඩ ආයෝජකයන් විවේචනයට ලක්කරමින් ඔවුන්ගේ නම් ඇතුලත් ලැයිස්තුවක් ඉදිරිපත් විය යුතු බවට යෝජනා කරති.


ඇමරිකානු හාස්‍ය ටෙලිවෘතාන්තයක් වන “Will & Grace” කතාමාලාවේ තරු ඩෙබ්‍රා මෙසින්ග් හා එරික් මකෝර්මක් එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහය පළකරන හොලිවුඩයේ අරමුදල් සම්පාදකයින් විවේචනයට ලක්කරමින් ඔවුන්ගේ නම් ඇතුලත් ලැයිස්තුවක් ඉදිරිපත් විය යුතු බවට යෝජනා කරන ලදී. 

කෙසේවෙතත්, මේ වන විට විල් ඇන්ඩ් ග්‍රේස් තරු පළ කළ මෙම අදහසට බොහෝ විවේචන එල්ල වී ඇති අතර, මෙය ට්‍රම්ප් විවේචනය කිරීමට යොදාගත් ඉතා භයානක මෙන්ම පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිණවිය හැකි ක්‍රමවේදයක් බවට බොහෝ විද්වතුන් පෙන්වා දෙයි. 

ට්විටර් පණිවුඩ නිකුත් කරමින් “The Hollywood Reporter” ජාලය විසින් ට්‍රම්ප්ට සහය පළකරන බෙවර්ලි හිල්ස් හි අරමුදල් සම්පාදකයින් පිළිබඳ දක්වා තිබූ පුවතට ප්‍රතිචාර දක්වමින් මෙසින්ග් හා මකෝර්මක් පවසා සිටියේ ට්‍රම්ප්ට සහය පළකරන අරමුදල් සම්පාදකයින් ගේ නම් ලැයිස්තුගත කර ඔවුන් හෙළා දැකීමට තමා හා අත්වැල් බැඳගන්නා ලෙසත්, එමඟින් හොලිවුඩයේ තමා “එක්ව කටයුතු නොකළ යුතු” පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනා ගැනීම පහසු වන බවත් ය.  

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ට්‍රම්ප් පරිපාලනය හා ඔහුගේ පාලන තන්ත්‍රය පිළිබඳ පසුගිය වසර කිහිපය තුළ බොහෝ විවේචන හා මතභේද (විශේෂයෙන්ම විදෙස් සංක්‍රමණිකයින් පිළිබඳ ගැටළුව, දේශ සීමා පිළිබඳ ගැටළුව, ජාතිවාදී චෝදනා, හා LGBTIQ ප්‍රජාවට සලකන අන්දම මත) පැවතියද, ඔහුට සහය දක්වන ආයෝජකයන් ගේ නම් ඇතුලත් කර ලැයිස්තුවක් නිර්මාණය කරමින් ඔවුන් හෙළා දැකීමට ජනතාව ගෙන් ඉල්ලා සිටීම ඉතා පහත් ක්‍රියාවක් බව අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නැත. මෙසේ හෙළාදකිමින් පුද්ගල/සංවිධාන නාමාවලි සකස් කිරීම අසාදු ලේඛනකරණය (black-listing) ලෙස හැඳින්වෙන අතර, මෙසින්ග් හා මකෝර්මක් මේ සූදානම් වන්නේ හොලිවුඩයේ ආයෝජකයින් අසාදු ලේඛනය කිරීමය.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ ඇමරිකාවට මෙන්ම ලෝකයේ වෙනත් රටවලටද දේශපාලනික හෝ රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුම් පැවතිය හැකිය. එමෙන්ම ට්‍රම්ප් පරිපාලනයේ දෝශ හා අකටයුතුකම් විවේචනය කරමින් අදහස් ප්‍රකාශ කළ හැකිය. කෙසේවෙතත්, ව්‍යාපාරිකයකු වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහය පළකරන අරමුදල් සම්පාදකයින් ගේ නම් ලැයිස්තු ගත කරමින් එම පුද්ගලයින් හෙළා දැකීමට අසාදු ලේඛන සම්පාදනය කිරීමටත්, එමඟින් හොලිවුඩ් තරු වශයෙන් ඔවුන් “එක්ව කටයුතු නොකළ යුතු” පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනා ගැනීම පහසු බව ප්‍රකාශ කරමින් ඒ සඳහා ජනතාවට පෙළ ගැසීමට ආරාධනා කිරීමත් කෙතරම් සදාචාර සම්පන්න ද යන්න ප්‍රශ්න කළ යුතු වේ. 

සුපිරි හොලිවුඩ් නිලි ව්හුපී ගෝල්බර්ග් පසුගිය දින “The View” වැඩසටහනේදී මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තමා සහය පළකිරීමට කැමති පුද්ගලයා හට තම මනාපය ප්‍රකාශ කර සිටීම ඇමරිකානු පුරවැසියන් සතු ශ්‍රේෂ්ඨතම වරප්‍රසාදයක් බවත්, රටේ වත්මන් ජනාධිපතිවරයා සතු ගැටළු විවෘත වේදිකාවේ කතාබස් කරනු හෝ විවාදයට ගනු මිස ඔහුට සහය පළ කරන්නන් හට විරුද්ධව නාමාවලි සකසා හෙලා දැකීමට ජනතාව පෙළගැස්වීමට කටයුතු කිරීම ඉතා පිළිකුල් සහගත බවත් ය. 

ඈ පෙන්වා දුන්නේ ට්‍රම්ප්ට සහය පළ කරන්නන් විවේචනයට ලක් කිරීම කෙසේ වෙතත්, ඔවුන් පසුපස හඹා ගොස් නම් ලැයිස්තු ගත කිරීම ශිෂ්ට සම්පන්න ක්‍රියාවක් නොවන බවයි.

ගෝල්බර්ග් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අවසන් වරට ඇමරිකාවේ අසාදු ලේඛනයක් ඉදිරිපත් වූ මොහොතේ ඊට නම් ඇතුළත් වූ එහෙත් කිසිදු වරදකට සම්බන්ධ නොවූ අහිංසක පුද්ගලයින් හට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බවත්, ඔබ රටේ නායකයා හට සහය පළකරන්නන්ට එරෙහිව අසාදු ලේඛනයන් ඉදිරිපත් කරන්නේ නම් අනාගතයේ යම් දිනක ඔබේ නමද අසාදු ලේඛනයක ඇතුලත් වී ඔබද මර්දනය වීමට ඉඩ ඇති බව සිතෙහි තබා ගත යුතු බවත්ය. 

අසාදු ලේඛනයක් ඉදිරිපත් වූ මොහොතේ පටන් එහි සත්‍ය අසත්‍යතාව ජනතාවට වැදගත් නොමැති බවත්, ද්වේශය ප්‍රවර්ධනය වීම මත එකිනෙකා මර්දනය කර ගැනීමට කටයුතු කරනු ඇති බවත් ඈ පෙන්වා දෙයි.   

තම දේශපාලනික දැක්ම තම පෞද්ගලික මතය බවත්, සහය පළ කිරීම හෝ විවේචනය කිරීම තමා සතු අයිතියක් බවත්, එහෙත් රටේ ජනාධිපතිවරයා හට සහය පළ කළේ යැයි තම වෘත්තිය තුළ “එක්ව කටයුතු නොකළ යුතු” පුද්ගලයින් හඳුනා ගැනීමට ජනතාව ඒකරාශී කිරීම ඉතා පහත් ක්‍රියාවක් බවත් ගෝල්බර්ග් තවදුරටත් පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි