×

ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක හතරක යුද්ධයෙන් විනාශයට පත් ලෝකයේ දුප්පත්ම රටක්වන ඇෆ්ගනිස්ථානය අමතක නොකරන ලෙසයි.


සටහන: සශිකලා මධුෂාණි,මැයි 12,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයන් 311 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන නිවේදනය කර තිබේ.

ගංවතුර හේතුවන් නිවාස 2,011 ක් විනාශ වී තවත් නිවාස 2,800 කට හානි සිදුවී තිබේ. බග්ලාන්, තකාර් සහ බඩක්ෂාන් මෙන්ම බටහිර ගෝර් සහ හේරත් පළාත් වර්ෂාව හේතුවෙන් විශාල වශයෙන් හානි සිදු වී ඇත. දරිද්‍රතාවයෙන් පෙළෙන සහ කෘෂිකර්මාන්තය මත දැඩි ලෙස යැපෙන ඇෆ්ගනිස්ථානය මේ වන විට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ගලවාගැනීමේ කණ්ඩායම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර ජාතික ආරක්ෂක අමාත්‍යාංශය බලපෑමට ලක් වූ පුද්ගලයින්ට ආහාර, ඖෂධ සහ ප්‍රථමාධාර බෙදා හැරීම ආරම්භ කර ඇත.

රජය සහ මානුෂීය ආයතන විසින් සපයන ලද මරණ සංඛ්‍යාව අතර විෂමතා පවතින අතර එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සෙනසුරාදා ප්‍රකාශ කළේ Baghlan හි මරණ 218 ක් සිදුව ඇති බවයි. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Abdul Mateen Qani, Agence France-Presse වෙත පැවසුවේ, Baghlan හි 131 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

කෙසේ නමුත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්, António Guterres විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් විපතට පත් වූවන්ගේ පවුල්වලට ඔහුගේ ශෝකය ප්‍රකාශ කර ඇති අතර ඔහුගේ ප්‍රකාශක, ස්ටෙෆාන් ඩුජාරික් ප්‍රකාශ කර තිබුණේ, එක්සත් ජාතීන්ගේ ආධාර සැපයීම සඳහා පළාත් පාලන ආයතන සමඟ කටයුතු කරන බවයි.

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක හතරක යුද්ධයෙන් විනාශයට පත් ලෝකයේ දුප්පත්ම රටක්වන ඇෆ්ගනිස්ථානය අමතක නොකරන ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි