×

සියලු ශක්තිය සටන් කිරීම කෙරෙහි යොමු කරන ලෙස ෂී ජින්පින් සිය හමුදාවට අණ දේ.

20 වැනි පක්ෂ සම්මේලනයේදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ තායිවානය අල්ලා ගැනීම ඔහුගේ උරුමයේ ප්‍රධාන අංගයක් ලෙසයි.


මෑතකදී තුන්වන වරටත් පක්ෂ නායකයා ලෙස තේරී පත් වූ ෂී ජින්පින් හමුදා නිල ඇඳුමින් අණදෙන මධ්‍යස්ථානයක සංචාරය කිරීමේන් අනතුරුව චීනයේ මහජන විමුක්ති හමුදාවට පවසා ඇත්තේ යුද්ධයට සූදානම් වීමේ දී “සියලු ශක්තිය සටන් කිරීම කෙරෙහි යොමු කරන ලෙස”බව චීන කොමියුනිස්ට් පක්ෂ මාධ්‍ය නිවේදනයක් වාර්තා කර තිබේ.

හමුදාව විසින් ජාතික ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව අධිෂ්ඨානශීලීව ආරක්ෂා කළ යුතු අතර ඒ වෙනුවෙන් මිලිටරි පුහුණුව පුළුල් ලෙස ශක්තිමත් කළ යුතු බව මෙහිදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

වොෂින්ටන්හි ජේම්ස්ටවුන් පදනමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන විලී ලැම් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ ඔහු එක්සත් ජනපදයට සහ තායිවානයට මෙමඟින් පණිවිඩයක් යවන බවයි.

චීනයේ මිලිටරි ශක්තිය තවමත් එක්සත් ජනපදය හා සම මට්ටමක නොතිබුණද, පසුගිය මාසයේ බීජිංහිදී අවසන් වූ 20 වැනි පක්ෂ සම්මේලනයේදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ තායිවානය අල්ලා ගැනීම ඔහුගේ උරුමයේ ප්‍රධාන අංගයක් ලෙසයි. ඔහු සිය ආරම්භක කතාවේදී ප්‍රකාශ කර තිබුණේ තායිවානය සම්බන්ධයෙන් බලය භාවිතා කිරීම අත්හැරීමට අපි කිසි විටෙකත් පොරොන්දු නොවෙන බවයි.

තායිවානයට ප්‍රහාරයක් එල්ල වුවහොත් එක්සත් ජනපදය විසින් එයට සෘජුවට මැදිහත් වන බවට ජෝ බයිඩන් නැවත නැවතත් ප්‍රතිඥා දී ඇත. නැන්සි පෙලෝසි අගෝස්තු මාසයේදී තායිවාන ගමනින් පසු, මහජන විමුක්ති හමුදාව විසින් තායිවාන සමුද්‍ර සන්ධියේ චීනය සහ තායිවානය අතර නිල නොවන දේශ සීමාවක් අසලට යුද නැව් සහ ගුවන් යානා කිහිපයක් ගෙන ගිය අතර දින කිහිපයක මිලීටරි අභ්‍යාස ඇරඹීය. තායිවානය සම්බන්ධයෙන් විදෙස් රටවල මැදිහත්වීම ෂී අවස්ථා ගණනාවකදී හෙළා දැක ඇති අතර මේ සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුණේ ගින්නත් සමඟ සෙල්ලම් නොකරන ලෙසයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි