×

පින්මද ලක් මවගේ දමිල දියණියක් මේරිලන්ඩ් ආණ්ඩුකාර තරග බිමේ

මේ එළඹී තිබෙන්නේ ඇමරිකානුවන් මිලියන 34කට වඩා දැනටමත් ඡන්දය ප්‍රකාශ කර තිබෙන මධ්‍යවාර මැතිවරණයේ තීරණාත්මක සති දෙකයි.


ඒ සමගම ශ්‍රී ලංකාවේ උපන් ක්‍රිෂ් විග්නරාජා කෙරෙහි ජාත්‍යන්තර අවධානය අන් කවරදාටත් වඩා වැඩියෙන් යොමු වී තිබේ.

ඇය මෙම මැතිවරණයේදී මේරිලන්ඩ් ජනපදයේ ආණ්ඩුකාර ධුරය සඳහා තරග බිමට පැමිණ සිටින්නීය. ක්‍රිෂ් (ක්‍රිෂාන්ති) විග්නරාජා නමැති ඇය,  මේ වන විට ඇමරිකාවේ ඩිමොක්‍රටික් දේශපාලනය තුළ බෙහෙවින් කැපී පෙනෙන චරිතයකි.

ඇය සිය ප්‍රතිවාදියා ගැන කී මේ බස, මේ වන විට අන්තර්ජාලය තුළ වයිරල් වීඩියෝවක් බවට පත් වී හමාර ය.

“Some say no man can beat Larry Hogan. Well, I’m no man,”
(‘‘සමහරු කියනවා කිසිම මිනිහෙකුට ලැරී හෝගන් ව පරද්දන්න බැහැ කියලා.. හොඳයි.. මම ඉතින් මිනිහෙක් නෙවෙයි..!“)

එහි අදහස වූයේ කාන්තාවක වන ඇයට ලැරී හෝගන් ප්‍රතිවාදියා ව පැරදවිය හැකි බව ය.

ක්‍රිෂ් විග්නරාජා, උපන් රටට අගයක් නැති වූ තවත් එක් දියණියකි. ඇය, හිටපු ඇමරිකානු ජනපති බරාක් ඔබාබාගේ ආර්යාව වූ මිෂෙල් ඔබාමාගේ ප්‍රතිපත්තිමය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂිකාව වශයෙන් කටයුතු කළ බව බොහෝ දෙනා දන්නේ නැත. හිලරි ක්ලින්ටන් සහ ජෝන් කෙරී රාජ්‍ය ලේකම්ව සිටි සමයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇය ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස කටයුතු කළ බව ද බොහෝ දෙනා දන්නේ නැත.

 

India Abroad

India Abroad

 

ඇය, Generation Impact පදනමේ ප්‍රධාන විධායක නිලධාරිනිය සහ එය පිහිටුවීමට මුල් වී කටයුතු කළ තැනැත්තිය ද වේ.

ක්‍රිෂ් විග්නරාජා ඇමරිකාවේ යේල් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ අයෙකි. එසේම අණුක ජීව විද්‍යාව පිළිබඳ උපාධියක් ද ඇය සතුය. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් අන්තර්ජාතික සබඳතා පිළිබඳ ලබාගත් M.Phil උපාධියක්ද ඇය සතු ය. යේල් සරසවියේ සහ හාවඩ් සරසවියේ නීති ජර්නලයේ සංස්කාරකවරියක ලෙස ද ඇය කටයුතු කළාය. එසේම ඇය පසුකාලීනව නීති ක්ෂේත්‍රයට පිවිස එහි ද සිය නොමද දස්කම් ප්‍රකට කළාය. William Nelson Cromwell Foundation Prize, the Benjamin Scharps Prize, the Joseph Parker Prize, the Potter Stewart Prize, සහ the Thurman Arnold Prize ඇගේ අධ්‍යාපනය තුළ ඇය විසින් ලබාගත් විශේෂ ජයග්‍රහණ අතර වේ.

The News Journal

The News Journal

එදා වයස මාස 9 දී ක්‍රිෂ් විග්නරාජාගේ පවුලට ලංකාව හැර දමා සදහටම පිටව යන්නට සිදුවන්නේ 1983 අපකීර්තිමත් කළු ජූලියෙන් ජීවිත වැනසෙන්නට ගිය නිසා ය. එදා ක්‍රිෂ් විග්නරාජාගේ දෙමාපියන් ඇමරිකාවේ බැල්ටිමෝරය වෙත ගියේ අත දරුවන් දෙදෙනෙක්, ඇඳිවත සහ ඩොලර් 200 ක් පමණක් තුරුළුකරගෙන ය. එසේ ගිය ඔවුහු නැවත කිසිදා නොආහ. නමුත් එදා රට හැර දමා ගිය බොහෝ දමිල සහෝදරවරුන් මෙන් විග්නරාජා පවුල ද උපන් බිමෙන් තොර රටක ජීවිතය තහවුරු කර ගෙන සිටිති. ඒ රටවල් දියුණු යැයි අප පවසන්නේ, ඒ රටවලදී ඔවුන්ට සම අයිතිවාසිකම් හිමිව ඇති නිසා ය. දක්ෂතාවයට අනුව තැන ලබාදීමේදී ජාතිය, ජන්මය හෝ සමේ පැහැය බලපා නැති නිසා ය.

යම් හෙයකින් මේ දූපත තුළ ම ජීවත් විණි නම් ඔවුන් කිසිදා මෙවැනි ජයග්‍රහණ වාර්තා නොකරන්නට ද ඉඩ තිබිණි. එක් අතකින් බලන විට, ලෝකයට අයිති මිනිසුන්, දූපත් තුළ තනි විය යුතු නොවේ. එනිසා නැවත නොඒම පිළිබඳ ඔවුන්ට දොස් නැගිය යුතු ද නොවේ.

සැබවින්ම,  අද ලොවම අගය කරන ක්‍රිෂ් විග්නරාජා යනු, ලංකාවේ අන්තගාමී ජාති ආලය සහ අන්තවාදීත්වය විසින් ලංකාවට අහිමි කළ තවත් එක් මැණිකකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි