පහත ඡායාරූපයේ දැක්වෙන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පිහිටා ඇති යුරෝපා සංගම් මූලස්ථානයෙන් මහා බ්‍රිතාන්‍යයේ ජාතික ධජය ඉවත් කර දමන ආකාරයයි.
බ්‍රෙක්සිට් නිසා මහා බ්‍රිතාන්‍යය තුළ සැමරුම් මෙන්ම සෝ සුසුම් ද දැකගත හැකි විය.
මහා බ්‍රිතාන්‍යය සමන්විත වන්නේ එංගලන්තය (එක්සත් රාජධානිය), ස්කොට්ලන්තය සහ වේල්සයෙනි. මේ අතරින් ස්කොට්ලන්තය සපුරාම බ්‍රෙක්සිට්වලට විරුද්ධව සිය මනාපය පළ කළ දේශභූමීන් ය.
මේ අනුව, බ්‍රෙක්සිට්වලට එකහෙළාම විරුද්ධ වූ, එනම් තමන්ට යුරෝපා සංගමය සමග සිටීමට අවශ්‍ය යැයි එක හඬින් කියා සිටි ස්කොට්ලන්තය පුරා, ශෝකය පළ කරමින් ඊයේ රාත්‍රියේ පහන් එළි විරෝධතා සිදුවිය.
මේ අතර, ස්කොට් ආණ්ඩුවේ ප්‍රධානියා හෙවත් Scotland’s First Minister වන නිකොලා ස්ටර්ජන්, යුරෝපා සංගම් ධජයේ ඡායාරූපයක් සමගින් ට්විටර් පණිවුඩයක් එක් කර තිබුණේ ස්කොට්ලන්තය නැවතත් යුරෝපයේ හදවත වෙතට යනු ඇති බව පවසමිනි. “Scotland will return to the heart of Europe as an independent country – #LeaveALightOnForScotland”
වෙන් වූ මහා බ්‍රිතාන්‍යෙයන් නිදහස ලබාගැනීම සඳහා ස්කොට්ලන්තයට ජනමත විචාරණයක් ලබාදෙන ලෙසට ද ඇය විසින් මේ වන විට ඉල්ලීමක් ඉදිරිපත් කරයි.
වේල්ස් ආණ්ඩුවේ ප්‍රධානී මාක් ඩ්රැක්ෆෝල්ඩ් පැවසුවේ වේල්සය තවදුරටත් ‘යුරෝපියානු ජාතියක්‘ ලෙස පවතිනු ඇති බවයි. යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ඡන්දය පළ කළ පසුව ඔහු එසේ කියන්නේ කුමන පදනමකින්දැයි විචාරකයෝ ප්‍රශ්න කරති.
මේ අතර ‘බ්රෙක්සිටියර්ස්‘ (Brexiteers) හෙවත් බ්‍රෙක්සිට් සඳහා සහාය පළ කළෝ, ලන්ඩනයේ පිහිටි පාර්ලිමේන්තු චතුරස්රයේ රැස්ව ප්‍රීති ඝෝෂා සැමරූහ.
බ්‍රෙක්සිට් පක්ෂය විසින් කල් තබාම තැබෑරුම්, අවන්හල් ආදිය මේ අවස්ථාව සඳහා වෙන් කර ගෙන තිබූ අතර, ඒවායේ ඔවුහු සාද පැවැත්වූහ. නයිජල් ෆෙරාජ් ඇතුළු බ්රෙක්සිටියර්ස්ලා දේශප්‍රේමී ගීත ගයමින් උද්වේගකර කතා ද පැවැත්වූහ.
‘‘මේක නූතන ඉතිහාසයේ සහ අපේ ශ්‍රේෂ්ඨ ජාතියේ ශ්‍රේෂ්ඨ මොහොතයි‘‘ යැයි බ්‍රෙක්සිට් පක්ෂ නායක නයිජල් ෆෙරාජ් පැවසුවේය.
බ්‍රෙක්සිට් සිදුවීමට හරියටම පැයකට පෙර සමාජ ජාල වෙත පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මෙසේ කීවේය.
‘‘බොහෝ දෙනෙකුට මෙය බලාපොරොත්තුවේ විස්මයජනක මොහොතයි. කිසිදා උදා නොවේ යැයි සිතූ මොහොතයි…
‘‘ඒ වගේම බොහෝ දෙනෙකුට මෙය කාංසාව සහ අහිමිවීම ගැන හැඟීමක් ගෙනැවිත් තිබෙනවා..
‘‘ඒ වගේම ඇත්ත වශයෙන්ම තුන්වැනි කණ්ඩායමකුත් සිටිනවා. ඒ තමයි, දේශපාලනික වියවුල් කිසිදා අවසන් නොවේවි කියා සිතන අය…‘‘
ඉන්පසු සුපුරුදු පරිදි යුරෝපා සංගමයට සහ එක්ව සිටීමට විරුද්ධව කතා කළ ඔහු පැවසුවේ, යුරෝපා සංගමය පරිණාමය වී තිබෙන්නේ මේ රටට නොගැළපෙන අවුරුදු 50 ක් පැරණි දිශාවකට බවයි.
පහත දැක්වෙන්නේ BBC දේශපාලන සංස්කාරක ලෝරා කුවන්ස්බර්ග් විසින් බ්‍රෙක්සිට් පිළිබඳ ඉදිරිපත් කරන දේශපාලන විග්රහයේ සාරාංශයකි.
‘‘යුරෝපා සංගමයෙන් ඉවත් වුවද, කිසි කතාවක් නැතිව මේ වසර අග වන තෙක් අප ඔවුන්ගේ රෙගුලාසි පිළිපැදිය යුතුය.
‘‘40 වසරකට අධික කාලයකට පසුව අපි වෙන්වෙන්නෙමු. නමුත් මතක තබා ගන්න, දැන් පවතින්නේත් කලින් තිබූ තත්වය (status quo)ම බව..
‘‘බ්‍රිතාන්‍යය – තවමත් එකම නිවස සහ එකම වියදම් බෙදා ගන්නා – අවසානයේ දික්කසාද වූ නොගැළපෙන ජෝඩුවකි..
‘‘අගමැතිවරයා විසින් නව යුගයක්, නව අළුයමක් ලෙස වර්ණනා කළද දැන් ඇරඹෙන්නේ ඉංග්‍රීසි ඕඩය දිගේ වෙසෙන අසල්වැසියන් සමග අසීරුවෙන් කේවල් කළ යුතු මාස ගණනකි…‘‘