තමන්ව අභිෂේක කළේ දෙවියන් වහන්සේ විසින් ඉරාකය සදහටම පාලනය කිරීම සඳහා යැයි සදාම් හුසේන් කීවේය. ඝාතන තැත්වලින් බේරුණු විට ඔහු ඒවා හුවා දැක්වුයේ දෙවියන් වහන්සේ විසින් සිය ජීවිතය බේරා දුන් අවස්ථා ලෙස ය. එවැනි අවස්ථා තමන් සතු දිව්‍යමය බලයට සාක්ෂි ලෙස ඔහු දැක්වූයේය.
හයිටි ඒකාධිපති ෆ්‍රැන්කොයිස් ඩුවලියර් කියා සිටියේ තමන් සදාකාලික සහ දිව්‍යමය අයෙකු බව ය. ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයට ලක් වූයේ තමන්ගේ වූඩූ බලය නිසා බව ද ඔහු කියා සිටියේය.
ඔවුන් එසේ නොකළා යැයි කීවේ කවුරුන්ද?
1918 වසර.
ඒ, හිට්ලර් ඒකාධිපතියෙකු බවට පත් වන්නට වසර 16කට පෙර යුගයයි.
සිය දිව්‍යමය බලය, තමන් සොයාගත්තේ අතිශයින්ම බලාපොරොත්තු විරහිත තැනකදී බව හිට්ලර් සිය ඉතිරි මුළු ජීවිත කාලය තුළදීම කියා සිටියේය.
ඒ, පළමු ලෝක යුද්ධයේ ලේ වැකුණු කාණු අගල් තුළදී ය.
මෙම ඡායාරූපයේ සිටින්නේ පළමු ලෝක යුද්ධයට සහභාගි වන කාලයේ ඇඩොල්ෆ් හිට්ලර් ය.
දිනක් යුධ රාජකාරියේ යෙදී සිටින අතරතුර, තමන්ට අමුතු හඬින් පණිවුඩයක් ඇසුණු බව ඔහුකියා සිටියේය.
‘‘දුවපන්…‘‘
ඒ අනුව හිට්ලර්, සිය සගයන් සිටි තැනින් මෑත් වී වෙනත් තැනකට යන්නට පිටත් විය. ඔහුට වැඩි දුර යාමට ඉඩ නොලැබුණු අතර, මහ හඬින් පිපුරුම් ශබ්දයක් ඇසුණේය. ඔහු සමග සිටි සොල්දාදුවන්ගෙන් බොහෝ දෙනෙක් එතැනම මැරී වැටී සිටියහ. නමුත් සීරීමක්වත් නොලබා හිට්ලර් නැගී සිටියේය. 4
පසුව යුද්ධය අවසන් වන්නට ආසන්නව සිටියදී හිට්ලර් සහ ඔහු අයත් බල ඇණිය මස්ටඩ් වායු ප්‍රහාරයකට ගොදුරු විය. ඒ, යිප්රේ සටනයි. හුස්ම ගන්නට අපහසුව, කහිමින් මුහුණු ආවරණ පැළඳ ගත්තත් ඒවායේ තිබූ වීදුරු පවා මස්ටඩ් වායු ප්‍රහාරයේදී බිඳී ගියේය.
අසල රෝහලකට ඇතුල් වී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පාදිලිවරයෙක් හිට්ලර් වෙත නරක ආරංචිය රැගෙන ආවේය. පළමු ලෝක යුද්ධය අවසන් ය. ජර්මනිය යටත් වී තිබේ.
මේ කම්පනය නිසා ඔහුගේ ඇස් දෙකේම පෙනුම තාවකාලිකව නැති වූ බව සඳහන් ය. මෙවැනි තත්වයක් ‘හිස්ටීරියාමය අන්ධතාවය‘ ලෙස හඳුන්වන අතර, එය තාවකාලික එකකි.
අනතුරුව අවාසනාවේ ගැඹුරුම තැන වූ අන්ධකාරයේ ගිලී සිටියදී ඔහුට සිය රටේ අනාගතය ගැන දැක්මක් ඇති විය. එතැනින් ඔබ්බට හිට්ලර් සිය ‘විශේෂ අරමුණ‘ ගැන කිසිම විටෙක සැක නොකළේය.
‘‘මම සිහිනෙන් ඇවිදින්නෙකුගේ ස්වයං විශ්වාසයෙන් යුතුව මගේ ඉරණම වෙත ඇවිද ගියා‘‘ යන සුප්‍රකට වදන් පසු කලෙක හිට්ලර් මේ සිද්ධිය විස්තර කරමින් කියයි.
මේ සිද්ධියට මුහුණ දෙන විට හිට්ලර් පළමු ලෝක යුද්ධ පෙරමුණේ සේවය කරමින් සිටියේ ඔටෝ පයිලට්වරයෙකු ලෙස ය. ඉලක්කය නොවෙනස්ව අල්ලා ගැනීමට ඔහු පුරුදු වූයේ එයිනි.
එම ආත්ම විශ්වාසය ඕනෑම ඒකාධිපති සැහැසියෙකු තුළ දැකගත හැකිය. ඔවුන් නාසිසිස්ටිකවාදීන් ය.
”The Potential dictator is usually highly narcissistic, believe themselves to be the centre of the universe, and everything must happen according to their will. And this is very different from the ordinary people” – Professor of Psychology, Georgetown University
සමහර විට මේ තත්වය එතරම් නරක දෙයක් නොවන්නට ද පුළුවන. නමුත් ඔබේ දෛවය අවබෝධ කර ගැනීමට පෙර, තවමත්, ඔබ විසින් ජයගත යුතු විශාල අභියෝග කිහිපයක් තිබේ.
මේ තත්වයේ සිටින්නෙකු හැකි ඉක්මනින් විසඳා ගත යුතු ප්‍රශ්නය වන්නේ අනුගාමිකයන් පිරිසක් බිහි කර ගැනීමයි. මන්ද, ඔවුන්ට තවමත් කිසිදු අනුගාමිකයෙක් නැත. එය පටන් ගත යුතු නොවරදින තැනක් මේ ලෝකයේ ඇත.
පරිපූර්ණ සමාජයක් කිසිදු විටෙක ඒකාධිපති සැහැසියන්ගෙන් පාලනය නොවිය යුතුය. නමුත්.. ඔබ අවට බලන්න. හැම දෙනාම වියරුවෙනි. කෝපයෙනි. ආවේගයෙනි.
වියරුවෙන්, කෝපයෙන්, ආවේගයෙන් සහ අපේක්ෂා භංගත්වයෙන් පසුවන විට මිනිස්සු දෝෂාරෝපණය කළ හැකි කෙනෙක් හෝ යමෙක් සොයති.
‘‘මේ ප්‍රතිවිරෝධයේ ස්වභාවය බුද්ධිමත් අයෙකුට වැටහෙනවා. එම අවස්ථාවෙන් ප්‍ර යෝජන ගන්නා හැටි හොයනවා.‘‘
මෙවැනි අවස්ථාවක්, ජනතාවගේ අවධානය දිනා ගැනීමට හොඳම අවස්ථාවයි. එය කළ යුත්තේ මෙසේ ය.
‘‘ඔවුන්ගේ සතුරන්, ඔබේ සතුරන් බව පෙන්වන්න!‘‘
මේ අරගලයේදී ලිබරල්වාදීන්, සංක්‍රමණිකයන්, අගතියට පත් වූ විවිධ සමාජ කොටස් යනාදී බොහෝ අය ඉක්මනින් දිනාගැනීමට හැකි වනු ඇත.
මුල් යුගයේ පටන්ම ලිබියාවේ කර්නල් මුවමර් ගඩාෆි, බටහිර ලෝකයේ අනුබලය ලබන රාජාණ්ඩුවට එරෙහිව ඉතා සැර සහ උද්වේගජනක කතා පැවැත්වුයේය. රාජාණ්ඩුව දූෂිත බව ඔහුගේ ප්‍රධානතම සටන් පාඨයක් විය. අවසානයේ කුමන්ත්‍රණයක් මගින් රාජාණ්ඩුව පෙරළා දැමූ විට ඔහුට වීරයෙකුගේ පිළිගැනීම ලැබුණේය.
උතුරු කොරියානු නායක කිම් ඉල් සුං ජන මතය දිනාගත්තේ ජපන් හමුදාව විසින් උතුරු කොරියානු භූමිය අල්ලා ගත් අවස්ථාවේදී ඔවුන් විඳි නින්දා අපහාස ගැන කතා කිරීම තුළිනි.
ඉඩි අමීන් ජන මතය සකසා ගත්තේ ඔවුන්ගේ යටත්විජිත ස්වාමියා වූ බ්‍රිතාන්‍යය යටතේ උගන්ඩාව අත් විඳි අපේක්ෂා භංගත්වය උත්කර්ෂයට නැංවීම මගිනි.
දැන්, හිට්ලර් වෙත හැරෙමු.
හිට්ලර් ඒකාධිපතියෙකු බවට පත්වන්නට අවුරුදු 15කට පෙර පැවතුණේ පළමු ලෝක යුද්ධයයි. ජර්මනිය අති දරුණු උද්ධමනයකට පත් වී සිටියේය. දරුණු විරැකියා ප්‍රතිශතයක් විය. නූතන වෙනිසියුලාවේ මෙන්, පාන් රාත්තලක් මිලදී ගැනීමට ‘සල්ලි බාල්දි‘ ගෙන ඒමට සිදු විය. ඒ වන විට හිට්ලර්ගේ වයස අවුරුදු 30කි. ඔහු, බලය වෙත ආරෝහණය වීමේ විශ්වාසනීය පියවර තැබීමට සූදානමින් සිටියේය.
1919 වසරේ මියුනික් නුවර වෙත හැරෙමු.එහි වීදි ගැවසී ගත්තේ අතන මෙතන අත පාන යාචකයන්ගෙනි. විරැකියා පෝලිම්වලිනි.
ඒ වන විට හිට්ලර්, සිය පසුම්බියේ කාසි කිහිපයක් පමණක් තිබූ අසාර්ථක සිත්තරෙකි. හැම දෙයක්ම වැරදී ගියේ මන්ද සහ, දොස් පැවරිය යුත්තේ කාටද යන්න ගැන ජර්මානු සමාජය පුරා ප්‍රබල මත ගණනාවක් පැතිරී තිබිණි. ඒවා ඔහුගේ කනට ද වැටී තිබිණි. ඔහුගේ මනස ඒ ඔස්සේ ක්‍රියා කරමින් තිබිණි. හිට්ලර්, මේ කාලයේ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වශයෙන් රැකියාවක් සොයාගැනීමට සමත් විය. ඔහුට ලැබුණු පළමු නිල රාජකාරිය වූයේ German Workers Party නම් වූ යුදෙව් විරෝධී දක්ෂිණාංශික කම්කරු පක්ෂයක රැස්වීමක් නිරීක්ෂණය කිරීමයි. හිට්ලර්ගේ ප්‍රධානියාට අවශ්‍ය වූයේ මෙතැනදී හිට්ලර් කිසිදු කැපී පෙනෙන දෙයක් නොකර, රැස්වීම ගැන සටහන් රැගෙන ඒවා ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කිරීම යි. නමුත් හිට්ලර් කිසි විටෙකත් විධාන පිළිගැනීමේ දක්ෂයෙකු නොවීය.
හිට්ලර්, තමන් එතැනට පැමිණියේ කුමක් සඳහා ද යන්න සහමුලින්ම අමතක කර, රැස්ව සිටි පිරිස අමතා ඉතාම ආවේගශීලී කතාවක් පැවැත්වීමට පටන් ගත්තේය. වියරුවේ සහ අපේක්ෂා භංගත්වයේ වසර ගණනක පීඩනය ඔහුගේ මුවින් පිටාර ගැලුවේය. අභිමානවත් ජර්මනියේ ජනතාව යටපත් කරන, යුදෙව්වන් ප්‍රමුඛ කර ගත් කුමන්ත්‍රණයක් ගැන ඔහු කෑ ගසමින් කතා කරන්නට පටන් ගත්තේය.
ඔව්, ඔහු ක්‍රියාවේ යෙදෙව්වේ ‘කුමන්ත්‍රණය න්‍යාය‘ යි.
මීළඟ කොටස බලාපොරොත්තු වන්න…
පෙර ලිපිය
ඒකාධිපති ප්‍රජා පීඩකයෝ – Introduction