‘ඒකාධිපති ප්‍රජා පීඩකයෝ‘ වෙනුවට වෙනත් ඕනෑම යෙදුමක් භාවිතා කළ හැක. කෙසේ නමුත් වඩාත්ම ගැළපෙන වචනය වනු ඇත්තේ ‘සැහැසියෝ‘ යන්නයි.
එය වැඩි දෙනෙකුට අවශ්‍ය ය. ඔවුහු එය දනිති. ඔවුන් නොදන්නේ එය ලබාගන්නේ කෙසේද යන්නයි. නමුත් ලෝක ඉතිහාසයේ බිහිවූ වඩාත්ම කුප්‍රකට ඒකාධිපති සැහැසියෝ මෙය දැන සිටියහ. ඔවුන් ඒ සඳහා භාවිතා කළේ ක්‍රමෝපායන් මාලාවකි. තමන්ට අනන්‍ය වූ ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් ඔවුහු තමන්ගේම ශෛලියට පරම බලයක් ලබාගැනීමට සමත් වූහ. ඇඩොල්ෆ් හිට්ලර්, සදාම් හුසේන්, ඉඩි අමීන්, ජෝසප් ස්ටාලින්, මුවමර් ගඩාෆි සහ කිම් ඉල් සුං ගේ ජීවිත කතා දෙස බලන විට එය අතිශයින්ම පැහැදිලි ය.
එසේ පරම බලය වෙත ළඟා වීමේදී ඇතැම් අප්‍රසන්න තෝරාගැනීම් කරන්නට ඔවුන්ට සිදු වී තිබේ. නමුත් ප්‍රජා පාලනය පහසු කාරියකැයි කිසිවෙක් කියා තිබේද…?
* * *
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ Tyrant යන්න නිර්වචනය කරන්නේ a cruel and oppressive ruler ලෙස ය. සැහැසියා, දුෂ්ට රජු, ප්‍රජා පීඩකයා, බලෙන් ආණ්ඩු කරන්නා යනාදී වශයෙන් මෙය සිංහලට නැගිය හැක. නමුත් මේ කිසිදු ඉංග්‍රීසි හෝ සිංහල තේරුමකින් Tyrant යන්නෙහි බරපතළ නිර්වචනය ලබා ගත නොහැකි වනු ඇත. එසේ කිරීමට නම්, ඒ සියලු අර්ථයන් කැටි කර ඉතා දිගු වාක්‍යයක් ලිවීමට සිදුවනු ඇත.
* * *
ලෝක ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යන්නේ ‘නිදහස‘ යනු සාමාන්‍යය (norm) නොවූ බවයි. එය සම්මතය ද නොවිණි. මිනිසුන් වඩා ආශා කරන්නේ නිදහසේ සිටීමට වඩා ‘පාලනය කරනු ලැබීම’ට ය. අසීරු සමයන් ගත කරන විට කිසිවෙක් ඔබ වෙත නියම මොහොතේදී පැමිණ ‘‘ඔය ප්‍රශ්න සේරම මට තනියම විසඳන්න පුළුවන්‘‘ යැයි කියා සිටීම තරම් විශාල ආනන්දයක් බොහෝ අයට නැත.
ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වූ ඒකාධිපති ප්‍රජා පීඩක පාලකයන් විසින් සිදුකර ඇත්තේ එයයි. ඔවුහු සමාජය උඩු යටිකුරු කරති. බැලූ බැල්මට එය පෙනී යනු ඇත්තේ ඉහළ සිට පහළට සමාජය ප්‍රතිසංස්කරණය කිරීමක් ලෙස ය.
නිව්යෝක් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන බෘෘස් බෘෘනෝ ඩිමෙස්කේටා පවසන්නේ එවැනි ඒකාධිපති සැහැසියන්ගේ ගමන් මග කෙටි පියවර කිහිපයකට ලඝු කළ හැකි බව ය.
එපමණකි. නමුත් මේ සියල්ලටම පෙර, බලයට අසීමිත ලෙස ආශා කරන අයෙක් එම බලය අත්පත් කර ගැනීමට නම් ‘සෙනග‘ කඩාගෙන ගොස් කටකලියාව අතට ගත යුතුය.
ඉතිහාසයේ සියලු හිට්ලර්ලා බිහිවන්නට පටන්ගත්තේ එතැනිනි. 1908-1913 අතර කාලයේ දිවි ගැට ගසා ගන්නට පෝස්කාඩ් ඇඳි තැනැත්තෙක්, අසාර්ථකම සිත්තරෙක් ලෝකයේ වැඩිම බලයක් තිබූ ඒකාධිපතියා බවට පත්වීම ඇරඹුණේ එතැනිනි
ඇඩොල්ෆ් හිට්ලර්, ජර්මනියේ පරම පාලකයා බවට පත් වීම පිටුපස ඇති දේශපාලනය වූයේ එයයි.
1934 අගෝස්තු19 පටන් ලෝක ඉතිහාසය වෙනත් අයුරකින් ලියැවීම ඇරඹුණේ එසේ ය.
තරුණ හිට්ලර්ගේ සිතුවම්වල කිසිදු කලාත්මක බවක් නැතැයි විචාරකයෝ කීහ. ඔහුගේ මුල් කාලීන ජීවිතය අතිශය අසාර්ථක එකක් විය.
වයස විසි ගණන්වලදී ඇඩොල්ෆ් හිට්ලර්, කිසිදු ආකර්ෂණීය බවකින් තොර පුද්ගලයෙක් විය. තවද ඇතුළතින් බිඳී ගිය අසාර්ථක මිනිසෙකු විය. ඔහුට මිතුරන් සිටියේ නැත. චිත්‍ර ශිල්පියෙකු වශයෙන් ද ඔහු අතිශය අසාර්ථක භාවයට පත් ව සිටියේය.ඔහු දුර්වල ශරීරයක් ඇති ඔතෑනි මිනිසෙකු විය. කෙනෙකුට අතට අත දීමේදී ඔහුගේ අත වෙව්ලූ බව ඉතිහාසයේ සඳහන් ය. නමුත් එබඳු අයෙක්, අවසානයේ 20 වන සියවසේ මධ්‍ය යුරෝපයේ විශාලතම රටක් වූ ජර්මනියේ බලය ලබාගත්තා පමණක් නොව, ජනකාන්ත ග්‍රහණයකින් එම බලය දශක කිහිපයක් පවත්වාගෙන යාමට ද සමත් වුණේ කෙසේද?
තරුණ හිට්ලර්
පිළිතුර අතිශයින්ම සරල ය.
ඔබට පාලනය කරන්නෙකු වීමට අවශ්‍ය නම්, එසේ කළ හැකි බව ඔබ තරයේ විශ්වාස කළ යුතුය.
ඒ අනුව ඔබ කෙරෙහි විශ්වාසය තැබීම, බලය වෙත ආරෝහණය වීමේ පළමු උපාය විය හැකිය.
‘‘ඒකාධිපති සැහැසියන්ට තමන්ගේ හැකියාවන් ගැන මෙගලොමේනියාමය ආත්ම විශ්වාසයක් තිබෙනවා‘‘ කාල්ටන් සරසවියේ දේශපාලන විද්‍යා මහාචාර්ය වොලර් නිව්වෙල් කියයි.‘
මෙගලොමේනියාව‘ යනු, අහංකාරෝන්මාදයයි.
‘‘ඔවුන් එසේ කළ යුතුමයි. ඔවුන් තමන්ව විමුක්තිදායකයන් ලෙස හඳුන්වා ගන්නවා. ලෝකය බේරාගත හැක්කේත් ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කළ හැක්කේත් තමන්ට පමණයි යැයි ඔවුන් හැමවිටම අවධාරණය කරනවා. ‘‘
වෙනත් වචනවලින් කියන්නේ නම්, තමන් ‘විශේෂ අය‘ බව ඔවුහු විශ්වාස කරති.
මීළඟට – හිට්ලර්ගේ නැගීම