×

දෙවැනි කෝවිඩ් රැල්ල ලෝකය වෙළා ගනියි – OBT Global Report – 2020/10/11

ලෝකය මේ වන විට දෙවැනි කෝවිඩ් රැල්ලකට මුහුණ දී තිබේ. පහත දැක්වෙන්නේ අද දිනය වන විට ලොව පුරා කෝවිඩ්-19 වසංගත තත්වයේ සමාලෝචනයකි.


ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 7 ඉක්මවයි

කෝවිඩ් හෙල්මටයක් පැළඳ සිටින ඉන්දියානු පොලිස් නිලධාරියෙක්

ඉන්දියාවේ කෝවිඩ්-19 ආසාදියන්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේ මිලියන 7 ඉක්මවා ගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 6 ඉක්මවා ගියේ සැප්තැම්බර් 28 වැනිදා ය. ඒ අනුව සති 2 ක් තුළ ආසාදියන්ගේ සංඛ්‍යාව මිලියනයකින් පමණ වැඩි වී තිබේ.

ඉන්දියාවේ මේ වන විට කෝවිඩ් මරණ ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව එය 108,000 කි.

නවතම තත්වය අනුව ඉන්දියාව දෙවැනි වන්නේ ආසාදියන් මිලියන 7.7 ක් වාර්තා කරන ඇමරිකාවට පමණි.

 

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් කෝවිඩ් බෝවන්නේ නැහැ – ඔහුගේ වෛද්‍යවරයාගෙන් සහතිකයක් !

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් කෝවිඩ් බෝ නොවන බව ඔහුගේ වෛද්‍යවරයා විසින් ප්‍රකාශ කිරීමත් සමග විශාල ආන්දෝලනයක් ඇති ව තිබේ.

මේ තත්වය මත ඔහු අද දිනයේ ධවල මන්දිරයේ බැල්කනියේ සිට විශාල ජනකායක් ඇමතීමට නියමිත ය.

දෙදහසක පමණ පිරිසක් මේ සඳහා ඇරයුම් ලබා තිබේ.

මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් බලාපොරොත්තු වන්න.

මේ මස අග වන විට තවත් ඇමරිකානුවන් 20,000 ක් කෝවිඩ් නිසා මිය යාවි!

මේ මස අග වන විට තවත් ඇමරිකානු මරණ 20,000 ක් අපේක්ෂා කළ යුතු යැයි ඇමරිකානු රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානයේ (US CDC) හිටපු අධ්‍යක්ෂවරයා පවසා තිබේ.

හිටපු අධ්‍යක්ෂ  වෛද්‍ය ටොම් ෆ්‍රීඩන් මෙසේ පැවසුවේ CNN පුවත් සේවය ඊයේ විකාශය කළ  “Coronavirus: Facts and Fears” වැඩසටහනේදී ය.

අද දිනය වන විට ඇමරිකානුවන් 214,370 ක් දෙනා රෝගය නිසා මියගොස් ඇති අතර, මිලියන 7.7 දෙනා ආසාදියන් බවට පත් ව තිබේ.

මේ අනුව ලෝකයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි.

බ්‍රසීලය – කෝවිඩ් මරණ ගණන ලක්ෂ එකහමාර ඉක්වමයි.

ඊයේ දිනයේ බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ එකහමාර ඉක්මවා ගියේය. නිල සංඛ්‍යා ලේඛනවලට වඩා සත්‍ය තත්වය බැරෑරුම් විය හැකි බව ද විදෙස් වාර්තා පවසයි.

මේ අනුව බ්‍රසීලයෙන් වාර්තා වන්නේ ලොව දෙවැනියට වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. පළමු තැනට පත්ව තිබෙන්නේ ඇමරිකාවයි.

මේ සතිය මුල වන විට බ්‍රසීලයේ කොවිඩ් ආසාදිතයන්ගේ මුළු සංඛ්‍යාව මිලියන 5 ක් විය. දකුණු ඇමරිකාවේ වැඩිම කෝවිඩ් මරණ ගණන ද මේ අනුව බ්‍රසීලයෙන් වාර්තා වන අතර, සාවෝ පෝලෝ ප්‍රාන්තයේ තත්වය අතිශයින් දරුණු මට්ටමක පවතියි.

කෝවිඩ්-19 වසංගතය ‘පුංචි හෙම්බිරිස්සාවක්‘ යැයි කී ජනපති බොල්සොනාරෝ අද දක්වා ද වසංගතයේ බරපතළකම වටහාගත් බවක් දකින්නට නැත.

කොලොම්බියාව – 27,495 ක් දැනට මිය ගිහින්

බ්‍රසීලයේ අසල්වැසි රටක් වන කොලොම්බියාව, ලතින් ඇමරිකානු කලාපයේ බ්‍රසීලයට පමණක් දෙවැනි වෙමින් කෝවිඩ් අවදානමට නතු වී තිබේ.

දැනට වාර්තා වන මරණ ගණන 27,000 ඉක්මවයි.

ආසාදිතයන් සංඛ්‍යාව 894,300 කි. එනම් ලක්ෂ 8 කට අධික ය.

UK – තත්වය අවදානම්

එක්සත් රාජධානිය මේ වන විට කෝවිඩ්-19 වසංගතයේ අධි අවදානම් අවස්ථාවකට මුහුණ දී ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඊයේ දිනයේ එරටින් නව ආසාදිතයන් 15,166 ක් වාර්තා විය.

ඊට පෙර දිනයේ වාර්තා වූ නව ආසාදිතයන් ගණනට වඩා එය දහසකින් පමණ වැඩි වීමකි.

සඳුදා දිනයේ අගමැති බොරිස් ජොන්සන්, නව කෝවිඩ්-19 රීති කිහිපයක් නිවේදනය කිරීමට නියමිත ය.

ප්‍රංශය – වැඩිම ආසාදිතයන් ගණන ඊයේ

ප්‍රංශයේ ඊයේ දිනයේ ආසාදිතයන් 27,000 ක් වාර්තා වූයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ දිනය බවට පත් වෙමිනි.

කෙසේ නමුත් දැඩි සත්කාර ඒකකවලට යොමුවන රෝගීන්ගේ අඩුවක් ද ප්‍රංශය තුළ දක්නට ලැබේ.

ස්පාඤ්ඤය – මැඩ්රිඩ්වලින් පිටවීම තහනම්

මාර්තු මාසයේ ස්පාඤ්ඤ කොවිඩ් වසංගතයේ අපිකේන්ද්‍රය බවට පත් ව තිබූ මැඩ්රිඩ් නගරයෙන් නැවත රෝගය හිස එසවීමේ අවදානමක් මතුව ඇත.

මේ වන විට ස්පාඤ්ඤ බලධාරීන් රෝගයේ අපිකේන්ද්‍රයන් බවට පත් ව තිබෙන ස්ථාන හඳුනාගනිමින් සිටින අතර, මැඩ්රිඩ් ප්‍රදේශයේ ජීවත් වන්නන් හට එයින් පිටවීම තහනම් කර ඇත. මෙය මැඩ්රිඩ් අගනුවරට පමණක් නොව, මැඩ්රිඩ් කලාපයටම බලපාන තහනමකි.

චීනය – තවමත් රෝගීන් මතු වේ

පෙරේදා දිනයේ නව රෝගීන් 15 දෙනෙක් චීනයෙන් වාර්තා වූ අතර, ඊයේ දිනයේ එම සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇත.

නිවාරණ පියවර තවදුරටත් ක්‍රියාත්මක ය.

ජර්මනිය – බර්ලිනයට කඩින් කඩ ඇඳිරි නීතිය

ජර්මනියේ බර්ලින් නුවර තැබෑරුම් සහ ආපන ශාලා සඳහා රාත්‍රී 11 සිට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ජර්මනියේ මූල්‍ය අගනුවර ලෙස සැලකෙන ෆ්‍රෑන්ක්ෆර්ට් නුවර මේ වන විටත් ඇඳිරි නීතිය පනවා ඇත.

සෙනසුරාදා දිනයේ නව රෝගීන් 3,483 ක් වාර්තා වීම නවතම තත්වයට හේතුවයි.

ඉතාලිය – දෙවැනි නිරෝධායන අදියර සඳුදා සිට

ලෝකයේ දෙවැනි කෝවිඩ් රැල්ල වඩාත් සාර්ථකව මර්දනය කරමින් සිටින රටක් බවට පත්ව ඇති ඉතාලිය, තවදුරටත් නිරෝධායන නීති දැඩි සේ අනුගමනය කරයි.

මේ අනුව සඳුදා දිනයේ පටන් ඔවුන් නැවත වරක් නව මාර්ගෝපදේශනයන් අනුගමනය කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි