×

සිව්දෙනා එල්ලා මැරීම තහවුරුයි – ‘‘අන්තිමට මගෙ දුවට යුක්තිය ඉටු වුණා..‘‘ – නිර්භයාගේ මව

ගමන් කරන බස් රියක් තුළදී 2012 දෙසැම්බර් මස අමානුෂික ලෙස දූෂණයට ලක් කර මරා දැමූ ‘නිර්භයා‘ගේ නඩුවේ වරදකරුවන් සිව් දෙනාම එල්ලා මරන ලෙස දිල්ලි අධිකරණය අද අවසානාත්මක ලෙස නියම කළේය.


ඒ, වරදකරුවන් විසින් තීන්දුව වෙනස් කරන ලෙස ඉල්ලමින් ප්‍රතිශෝධන අයදුම්පත් ඉදිරිපත් කිරීමේ දින 14 ක කාලසීමාව අවසන් වීමත් සමග ය.

ඔවුන්ට ඒ සඳහා අයිතියක් පැවතියද, ඔවුන් විසින් එය සිදු කර තිබුණේ නැත.

මේ අනුව දිල්ලි අධිකරණය විසින් වීඩියෝ කොන්ෆරන්ස් හරහා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

මේ අනුව ජනවාරි 22 වැනිදා උදෑසන 7 ට නවදිල්ලි අගනුවර තිහාර් බන්ධනාගාරයෙදී මෙය සිදුකිරීමට නියමිත ය.

මෙය, ඉන්දීය ඉතිහාසයේ සිව් දෙනෙකුට එකම වේලාවක මරණ දණ්ඩනය නියම කරන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගත වනු ඇත.

දිල්ලියේ තිහාර් බන්ධනාගාරය මේ සඳහා සුදුසු පෝරකයක් අලුතෙන් සාදමින් තිබෙන බවත්, අදාළ අළුගෝසුවන් යාබද බන්ධනාගාරවලින් ගෙන්වා ගන්නා බවටත් මීට පෙර වාර්තා වී තිබිණි. කියවන්න හතර දෙනා එකට එල්ලන්න අලුත් පෝරකයක් – නිර්භයා ස්ත්‍රී දූෂණ – ඝාතන නඩුව

මෙම සිව්දෙනා හට මරණ දණ්ඩනය නියම වූයේ 2013 සැප්තැම්බර් මස ය. පසුව දීර්ඝ පරිපාලනමය කටයුතු හේතුවෙන් දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබිණි.

නවදිල්ලියේ ගමන් කරමින් තිබූ බස් රියක මිතුරෙකු සමග රාත්‍රි කාලයේ නිවෙස බලා යමින් සිටි මෙම පශු වෛද්‍ය සිසුවිය දූෂණයට ලක් කර, දැඩි තුවාළ සහිතව බසයෙන් පිටතට විසිකිරීමෙන් පසුව සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී මරණයට පත් වුවාය.

මෙම සිද්ධියට 6 දෙනෙකු සම්බන්ධ වූ බව සනාථ වූ අතර පස්වැන්නා 2013 වසරේදී බන්ධනාගාරය තුළදීම සියදිවි නසා ගත්තේය.

අපරාධකරුවන් අතර සිටි බාලවයස්කරුවාට වසර 3 ක සිර දඬුවමක් නියම වූ අතර, පසුව ඔහුව නිදහස් කෙරිණි.

පොලිසිය ප්‍රකාශ කළේ මොවුන් 6 දෙනා විසින් පැයක කාලයක් තිස්සේ, ඇගේ මිතුරා ඉදිරිපිටදී මාරුවෙන් මාරුවට තරුණිය දූෂණය කර තිබු බවයි.

අවසානාත්මක තීන්දුව ලබාදීමෙන් පසු නිර්භයා යනුවෙන් ඉන්දීය ජනමාධ්‍ය විසින් හැඳින්වූ එම තරුණියගේ මව මහ හඬින් හඬා වැළපුණු බව වාර්තා වේ.

පසුව අධිකරණයෙන් පිටතට පැමිණි ඇය ප්‍රකාශ කළේ ‘‘මගෙ දුවට අන්තිමට යුක්තිය ඉෂ්ට වුණා‘‘ යනුවෙනි.

දූෂණයට ලක්ව පාපතරයන් විසින් අමානුෂික ලෙස ඝාතනයට ලක් කළ ‘නිර්භයා‘ගේ සත්‍ය නම 2018 වසරෙන් පසු කිසිදු මාධ්‍යයකින් හෙළිදරව් නොකෙරේ. ඒ, 2018 වසරේදී ඉන්දීය ශ්‍රේෂඨාධිකරණය විසින් ස්ත්‍රී දූෂණවල වින්දිතයන්ව නම් කිරීම තහනම් කිරීමට නියෝග කර ඇති හෙයිනි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි