×

අදට අපට වසර 4 යි!

අවුට්බවුන්ඩ් ටුඩේ මෙයට වසර 4 කට පෙර නත්තල් දින සීත රැයක මෙලොවට බිහි වූයේ LNW මාධ්‍ය ජාලයේ නැවුම් සාමාජිකයා ලෙස ය.


සත් සමුදුරෙන් එහා ආගන්තුක රටක වුව අමුතු දේ සිදු නොවේ. විය හැකි දේවල් තිබෙන්නේ දෙකක් පමණි. එක්කෝ, අප ජීවත් වන ලංකාවට වඩා බොහෝ ප්‍රශස්ත දේවල් යම් රටක සිදුවනු ඇති. එසේත් නැතිනම් ලංකාවටත් වඩා පහළ තැනක ඒ රටවල් ලෝක සිතියමේ ස්ථානගත වී තිබෙනු ඇති. කෙසේ නමුත් ලෝක සිතියමේ කොතැනක කවරක් සිදුවුවත්, ඒ සිදුවන දේවල් සහ ඒවායේ විශ්ලේෂණය තුළ ලංකාවට සාපේක්ෂව සිදුවීම් ගැළපීමේ හැකියාවක් තිබේ. එය හුදු පරිවර්තකයන්ට හෝ විදෙස් පුවත් යනු හුදු ආගන්තුක ‘වෙනම වැඩක්’ යැයි සිතාගෙන සර්වර් අවකාශය පූරණය කිරීමේ යෙදී සිටින්නන්ට ගෝචර නොවිය හැකිය.

විදෙස් පුවත් යනු හුදු ගොසිප් හෝ කාලීන වටිනාකමකින් යුක්ත නීරස කෙටි සටහන් යැයි පැවති දුර්මතය බිඳින්නට ද අපට මුල පටන්ම උවමනාවක් තිබිණි. ඒ උවමනාව අප අත්දුටුවේ බොහෝ දෙනා තරග විභාගවලදී ගෝලීය දැනුම හෝ ලෝක දැනුම සම්බන්ධයෙන් දරන වෙහෙසකර සහ ප්‍රතිඵල විරහිත මහන්සිය අප දුටු හෙයිනි. ඒවා බොහෝ විට හුදු යාන්ත්‍රික කට පාඩම් කිරීම්වලට ලඝු කර තිබේ.

අවුට්බවුන්ඩ් ටුඩේ වෙබ් අඩවිය සිංහල විකිපීඩියාවකින් ඔබ්බට යා යුතු බව ආරම්භයේ සිටම මෙම සාමූහික ප්‍රයත්නය වෙත ලැබුණු සවිඥානික ඉල්ලීම විය. අප කරමින් සිටින්නේ සහ කිරීමට උත්සාහ ගන්නේ ඒ කාර්යයයි. එක් පසෙකින් අවුට්බවුන්ඩ් ටුඩේ යනු, ලිබරල් අවකාශයකි. එහි ලිවීම් සම්ප්‍රදාය අතික්‍රමණය කරනු ඇත. එමගින් ගෝලීය දේශපාලනයක් ගැන කතා කරනු ඇත. දේශසීමා බාධක මනුෂ්‍යත්වය විසින් බිඳ දමන අන්දම කතා කරනු ඇත. අන්ත දක්ෂිණාංශික ඇදහීම්වලට, සියලු ආකාරයේ අන්තවාදීත්වයන්ට එය අතුල් පහර දෙනු ඇත.

මෙම වෙබ් අඩවියේ ‘ස්ථිර තැන්පතුවේ’ දමා ඇති විශේෂාංග වෙත අවධානය යොමු කරන විට, ‘චරිත’ කාණ්ඩය යටතේ අප ලියන කියන දෑ සැලකිල්ලෙන් කියවන විට ඔබට මේ බව තවදුරටත් තහවුරු වනු ඇත. අතිශය සාමාන්‍ය ආකාරයකින් ලියැවෙමින් ඇරඹෙන පුවතක් පවා, පාඨකයන්ට සිතා බලන්නට යමක් ඉතිරි කරමින් නිමා කරන්නට අපට උවමනා ය.

දූපත් මානසිකත්වය සහ මානසික වහල් භාවය බිඳ දමා හෘද සාක්ෂියේත් බුද්ධියේත් ගිනි මැළයක් දල්වන්නට අපට උවමනා ය.

ලොව යන අත ගැන ඔබව යාවත්කාලීන කරමින්, දේශීය වශයෙන් ඒවා අපට අදාළ විය හැකි ආකාරය ගැන උතුරු තරුවක් වන්නට අපට උවමනා ය.

එනිසා මේ කතු වැකිය, අපගේ ඒ වෑයම වටහා ගනිමින් අප සමග සිව් වැනි වසරටත් නොසැළී රැඳී සිටින දයාබර පාඨක ඔබට වෙත පිදෙන – මුදුනත තුති මලක් පිපුණු නත්තල් තෑග්ග ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි