×

‘‘අපිට වැටුප් නෑ  – PPE නෑ‘‘ : නවදිල්ලියේ කොවිඩ් මර්දන සටනට බිලිවන ගුරුවරු

කෝවිඩ්-19 වසංගත තත්වය යටතේ විශේෂ රාජකාරියක් කිරීම සඳහා නවදිල්ලියේ ගුරුවරුන් 28,000 ක් යොදවා තිබේ.


සෑම උදෑසනකම ශාරීරික අධ්‍යාපනය උගන්වන ගුරුවරයෙකු වන විකාස් ෂර්මා, සිය දරුවන්ට වීඩියෝ පාඩම් ජංගම දුරකථනයෙන් යොමු කර සිය දෙවැනි රැකියාව සඳහා පිටත් වෙයි. ඒ, නුපුහුණු, එනමුත් ආසාදිතයන් සමග සෘජුව ගැටෙන කොරෝනා වෛරස් මර්දන බලකායේ ඉදිරි පෙළ සොල්දාදුවෙකු ලෙස ය.

මේ 27 හැවිරිදි ගුරුවරයා, නවදිල්ලියේ ගුරුවරුන්ට අත් වී ඇති ඉරණම ගැන උදාහරණ සපයයි.

මුලින්ම විකාස් ට පැවසුණේ සලාක කාඩ්පත් බෙදන ලෙස ය. ඉන්පසුව කෝවිඩ් රෝගීන් සිටින නිවෙස් ගානේ ගොස් සමීක්ෂණයක් කිරීමට ඔහුට නියම විය. මෙහිදී නිවැසියන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම අනිවාර්ය විය. ප්‍රතිඵලය වූයේ කුමාර්ට ද වෛරසය ආසාදනය වීමයි. අවසානයේ ජූලි මස ඔහු කෝවිඩ් රෝගියෙකු බවට පත් වී දින 17 ක් ඇඳෙන් නැගිටගත නොහැකි තත්වයට පත් විය.

පසුගිය මාර්තුවේදී කොරෝනා වෛරසයට ඉන්දියාව නතු වූ බව මුලින්ම ඇඟවුණේ නවදිල්ලියෙනි. 2020 දෙසැම්බර් 31 වන විට විකාස් වැනි ගුරුවරුන් 28,000 ක් වසංගතය මර්දනය සඳහා මේ අන්දමින් යොමු කර තිබේ.

නවදිල්ලියේදී ගුරුවරුන් ගණනාවක්ම සීඑන්එන් පුවත් සේවය සමග පවසා තිබුණේ තමන්ට මේ රාජකාරිය ඉටුකිරීම සඳහා කිසිදු ආකාරයක පුහුණුවක් ලබා දී නැති බවයි. නමුත් මෙය රාජකාරියේම කොටසක් ලෙස සැලකීමට ඔවුන්ට බල කර තිබිණි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට PPE හෙවත් පුද්ගලික ආරක්ෂක මෙවලම් ද මෝදි රජය ලබා දී නැත.

ඇතැම් අය කියා සිටියේ තමන්ට මේ කරන අමතර රාජකාරිය වෙනුවෙන් කිසිදු අමතර ගෙවීමක් නොලැබුණු බවයි. ඒ අනුව සාමාන්‍ය ගුරු පඩියටම ජීවිතයත් මරණයත් අතර රාජකාරියක් කිරීමට ද ඔවුන්ට ඇතැම් අවස්ථාවලදී සිදු වේ.

NNSS හෙවත් නගාර් නිගම් ෂිකාක් සන්ග් නමැති දිල්ලි නගර සභාවට අයත් පාසල්වල ගුරුවරුන් 20,000 ක් පමණ නියෝජනය කරන වෘත්තීය සමිතියක නායකයාවන විභා සිං මෙසේ කියයි.

‘‘මධ්‍යම ආණ්ඩුව අපට කියනවා, සියලුම ආරක්ෂක උපක්‍රම පුරවැසියන් විදිහට අනුගමනය කරන්න කියා. නමුත් ඒ අතරවාරයේ දිල්ලි නගරය තුළ ගුරුවරුන් ව කිසිදු ආරක්ෂාවක් නැතිව වෛරසයට නිරාවරණය කරනවා.‘‘

දිල්ලියේ ආපදා කළමනාකරණ පනත යටතේ, මෙසේ පවරන රාජකාරි නොකරන ගුරුවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ගැනීමට හැකියාව ඇත. මෙම පනත ක්‍රියාත්මක කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ ඉන්දියාව පුරා වෛරසය ව්‍යාප්ත වීමත් සමග ය.

එතැන් පටන් දිල්ලියේ 10,000 කට වඩා කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් තිබේ. රට පුරා මිය ගිය ගණන 150,000කට අධික ය. ඉන්දියාව කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අතින් දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණි. මේ වන විට දීප ව්‍යාප්ත එන්නත්කරණ වැඩපිළිවෙළවල් ආරම්භ කර තිබුණත්, ලෝකයේ ලොකුම එන්නත් නිෂ්පාදකයා ඉන්දියාව වුවත්, රට පුරා ආසාදිතයන් මිලියන 10.4කට වඩා වැඩි පිරිසක් සිටිති.

පසුගිය මාර්තු මාසයේ පටන් නවදිල්ලියේ පාසල් තවමත් වසා දමා ඇත. නමුත් මේ අතර, සිය රැකියාව බේරාගැනීමට නම්, ජීවිතය පරදුවට තබා, ඇතැම් අවස්ථාවලදී PPE ද නොමැතිව කෝවිඩ් රාජකාරි කිරීමට ඉන්දියාවේ ගුරුවරුන්ට සිදුව තිබේ.

‘‘කොරෝනා වීරයෝ ‘‘

මෝදි ආණ්ඩුව, කෝවිඩ් වසංගතය මර්දනය කිරීමට දායක වන රජයේ සේවකයන්ව හඳුන්වන්නේ “Corona Warriors” හෙවත් කොරෝනා වීරයෝ යනුවෙනි. වසංගත සමයේදී ගුරු වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයට මේ වන විට නඩු කිහිපයක් ද ඉදිරිපත් වී තිබේ. එවැනි එක් නඩුවකදී නවදිල්ලි මහාධිකරණය ද තීන්දුව දෙමින් පැවසුවේ ‘වසංගත රාජකාරිවල නියැළී සිටින ගුරුවරුන් කොරෝනා වීරයන්‘ බව ය.

කෝටියක වන්දියක්

වැටුප් ගෙවන ලෙසටද ඉන්දීය අධිකරණය නියම කළ නමුත් නඩු පැවරූ ගුරු සංගම් සහ ගුරුවරුන් පවසන්නේ පසුගිය ජූලි මාසයේ පටන්ම තමන්ට කිසිදු වැටුපක් ගෙවා නැති බවයි.

මෙම නඩු තීන්දුවේදී අධිකරණය මෙසේ ද පැවසුවේය.

‘‘කිසියම් ගුරුවරයෙක් වසංගත රාජකාරිවලදී මරණයට පත් වුවහොත්, ඔවුන්ගේ පවුලට රුපියල් කෝටියක වන්දියක් ගෙවිය යුතුයි.‘‘

නමුත් මේ වසංගත රාජකාරිවලදී මරණයට පත් වූ ගුරුවරුද නවදිල්ලියේ සිටිති. ඔවුන්ගේ පවුල්වල අය පවසන්නේ ඉන්දීය රුපියල් කෝටියක් තබා, ඉන්දීය සතයක්වත් තමන්ට මෙතෙක් වන්දි ලෙස නොලැබුණු බවයි.

Photos: CNN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි