×

ඇෆ්ගනිස්ථානයෙන් වැඩි කොටස තලෙයිබාන් ග්‍රහණයට – පාකිස්ථාන දේශසීමාවේත් තලෙයිබාන් කොඩියක් ලෙළදෙයි!

ඇෆ්ගනිස්ථානයේ වැඩි කොටස මේ වන විට තලෙයිබාන් ග්‍රහණයට නතු වී තිබෙන අතර, සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන වීඩියෝවලින් පෙනී යන්නේ පාකිස්ථාන-ඇෆ්ගන් දේශසීමාවේ ද තලෙයිබාන් කොඩියක් ලෙළදෙන ආකාරයයි.


පාකිස්ථාන-ඇෆ්ගන් දේශසීමා මුරපොළ බිඳ වැටුණු බව ඇෆ්ගන් රජය නිල වශයෙන් පිළිගෙන නැති නමුත්, කන්දහාර් -ස්පින් බෝල්ඩැක් දේශසීමාවේ සුදු කොඩියක් ලෙළදෙන ආකාරය වීඩියෝවල පැහැදිලිවම දිස් වේ.

මේ අතර, ඇෆ්ගන් මූලාශ්‍ර කිහිපයක් බීබීසී පුවත් සේවය වෙත පවසා තිබෙන්නේ තලෙයිබාන් සටන්කාමීන් විසින් විශාල බාධාවකින් තොරව දේශසීමාව අත්පත් කර ගත් බවයි.

ගතවූ සති කිහිපය තුළ ඇමරිකානු හමුදාවෙන් 90%කටත් වඩා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමෙන් පසුව තලෙයිබාන් සංවිධානය විශාල වශයෙන් ශක්තිමත් විය. ඇෆ්ගන් හමුදාව යටතේ පැවති මුරපොළ ගණනාවක් ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගැනිණි. ඉරානය, ටජිකිස්ථානය සහ තුර්කිමෙනිස්ථානය අතර දේශසීමාවන් ඒ අතර වේ.

දැඩි මතධාරී සහ මූලධර්මවාදී ඉස්ලාම් මිලීෂියා කණ්ඩායමක් වන තලෙයිබාන් සටන්කාමීන්, ඇමරිකානු ආක්‍රමණයෙන් පසු වසර 20 ක පමණ කාලයක් විශාල පසුබෑමකට ලක් ව තිබිණි. නමුත් ගතවූ දින කිහිපය තුළ ඔවුන් ප්‍රධාන නගරවලට සම්බන්ධිත සැපයුම් මාර්ග ද කපා දැමීමට සමත් වී තිබෙන්නේ රටම අඩපණ කරමිනි.

නවතම තත්වය

අලුත අල්ලාගත් බව කියන කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩැක් නගරය, එක් පසෙකින් පාකිස්ථානයේ චාමන් නගරය සමගත්, අනෙක් පසින් ඇෆ්ගනිස්ථානයේ විවිධ නගර වෙත දිවෙන මාර්ගවලිනුත් සමන්විත වේ. කන්දහාර් නගරය පාකිස්ථානයේ සැපයුම් මර්මස්ථාන සමග සම්බන්ධ වන්නේ ද මෙම නගරයෙනි. දිනපතා ට්‍රක් රථ 900 ක් පමණ මෙහි මහාමාර්ග දිගේ ධාවනය වනු දැකගත හැකිය.

තලෙයිබාන් සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් කියා තිබෙන්නේ මෙම පළාතේ ‘ආරක්ෂාව සහතික කර ඇති බව‘ යි.

මෙසේ ප්‍රහාර දිගින් දිගටම සිදු කරන අතරවාරයේ තලෙයිබාන් සංවිධානය ඇෆ්ගන් ආණ්ඩුව සමග සාකච්ඡා ද සිදුකරයි. මීට පෙර තලෙයිබාන්වරුන් ඇෆ්ගන් ආණ්ඩුව සමග සෘජු සාකච්ඡා පැවැත්වූයේ නැත. මෙසේ සාකච්ඡා පවත්වන අතරවාරයේදීත් ඔවුන් දිගින් දිගටම සිය ප්‍රහාර එල්ල කරන අන්දම ද දැකත හැකිය.

පොරොන්දු කඩ කිරීමක්

2020 වසරේ පටන් ඇෆ්ගනිස්ථානයෙන් නේටෝ සහ ඇමරිකානු හමුදාව ඉවත් කිරීමේ සම්මුතියක් ගැන සාකච්ඡා කෙරිණි. ඒ අනුව මෙය ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමයේදී කළ මුල පිරීමකි. එම ගිවිසුමේ පොරොන්දුව වූයේ, තලෙයිබාන් මිලීෂියාව තමන්ගේ පාලනය යටතේ පවතින පෙදෙස්වල කිසිදු ආකාරයක සන්නද්ධමය මැදිහත්වීමක් සිදුනොකළ යුතු බවයි. නමුත් ඇෆ්ගන් හමුදාව සමග සටන් නොකරන බවක් එම සම්මුතියේදී ඔවුන් එකඟ වූයේ නැත.

‘සිතාගත නොහැකි තරම් නරක ප්‍රතිඵල‘‘

2001 වසරේදී ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයට යැවීමේ තීරණය ගනු ලැබුවේ ජෝර්ජ් බුෂ්ගේ පාලන සමයේදී ය. ඇමරිකානු හමුදාව ඉවත් වීම සම්බන්ධයෙන් ජෝර්ජ් ඩබ්. බුෂ් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ඔහු කියා තිබෙන්නේ එය ‘‘සිතාගත නොහැකි තරම් නරක ප්‍රතිඵල‘‘ ඇති කරනු ඇති බවයි. මේ සතියේ ජර්මානු රේඩියෝ සේවාවක් සමග සාකච්ඡා කරමින් ඔහු මෙසේ කීය.

‘‘තලෙයිබානයට ඇෆ්ගනිස්ථාන ජනතාව මරාදමන්නට ඉඩ දී ඇමරිකානු හමුදාව සිය රට බලා කැඳවා තිබෙනවා‘‘
– ජෝර්ජ්. ඩබ්. බුෂ්

පවතින තත්වය තුළ ඇෆග්නිස්තානයේ හමීඩ් කර්සායි පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අවදානම අධික ය. ඇෆ්ගන් හමුදා දරුණු පරාජයක් ලබමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

90 දශකයේ මැද භාගයේ සිට 2001 ඇමරිකානු ආක්‍රමණය දක්වා ඇෆ්ගනිස්ථානය පාලනය කළේ තලෙයිබාන් සංවිධානය විසිනි. විවිධ මානව හිමිකම් කඩවීම් සහ සංස්කෘතික ඝාතන රැසක් ඒ කාලයේ වාර්තා විය. ප්‍රසිද්ධියේ මරා දැමීම් මෙන්ම ටෙලිවිෂන්, සංගීතය සහ සිනමාව තහනම් කිරීම සහ අවුරුදු 10 ට වැඩි ගැහැණු ළමුන්ට පාසල් යාම තහනම් කිරීම තලෙයිබාන් පාලනය යටතේ සිදුවිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි