×

‘ඇෆ්ගනිස්ථාන ගැහැණු ළමයින් පාසලෙන් බැහැර කිරීම ලැජ්ජා සහගතයි’-එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ඇෆ්ගනිස්ථානයේ මිලියන 39 ක ජනතාවගෙන් අඩකට වඩා මානුෂීය ආධාර අවශ්‍ය වන අතර මිලියන හයක් සාගතයේ අවදානමට ලක්ව ඇත.


ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය විසින් ගැහැණු දරුවන්ට අධ්‍යාපන අයිතිය සීමා කිරීම ලැජ්ජා සහගත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබේ. ඔවුන් මෙහිදී තලෙයිබාන් පාලනයෙන් දැඩිව ඉල්ලා ඇතිතේ ගැහැණු දරුවන්ට අධ්‍යාපන අයිතිය ලබා දෙන ලෙස හා පාසැල් නැවත විවෘත කරන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීම ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි. එය ගැහැණු ළමයින්ට එරෙහිව කොන් කිරීම, ප්‍රචණ්ඩත්වය, සූරාකෑම සහ අපයෝජනය කිරීමේ අවදානම වැඩි කරන අතර ඇෆ්ගන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස භුක්ති විඳීම සීමා කිරීම නවතා දැමිය යුතු බවත්, මෙම නීති අවලංගු කර සමානව ජීවත් වීමේ අයිතිය ඔවුන්ට ලබා දිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර තිබේ.


මෙම පාසල් තහනම අවුරුදු 12 සිට 18 දක්වා ගැහැණු ළමයින්ට බලපාන අතර තලෙයිබාන්වරු ගැහැණු ළමයින්ට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් දෙමින් පිරිමි ළමයින්ට උසස් පාසල් නැවත විවෘත තර ඇත. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව පසුගිය වසර තුළ මිලියනයකට වඩා ගැහැණු ළමයින්ට උසස් පාසැල් යාමට තහනම් කර ඇත. යුනිසෙෆ් සංවිධානයට අනුව, තලේබාන් සංවිධානය විසින් පනවා ඇති සීමාවන් හේතුවෙන් ගැහැණු ළමයින් මිලියන තුනකට ද්විතියික පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ඉරිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම වසර ගැහැණු දරුවන්ට දැනුම හා අවස්ථාව අහිමි වසරක් බවයි. ගැහැණු ළමයින් පාසලට අයිති බවත් ඔවුන්ට එයට ඇතුළු වීමට අවස්ථාව දිය යුතු බවති ඔහු සඳහන් කර තිබිණ.

සිය අධ්‍යාපන අයිතිය අහිමිවීම පිළිබඳව ගැහැණු ළමයින් 50 දෙනෙක් මුස්ලිම් රටවල ප්‍රධානීන්ට සහ අනෙකුත් ලෝක නායකයින්ට A Year of Darkness: A letter from Afghan Girls යනුවෙන් ලිපියක් යවා ඇත. පසුගිය වසර තුළ, අධ්‍යාපනය ලැබීමේ අයිතිය, රැකියා කිරීමේ වරප්‍රසාදය, අභිමානයෙන් යුතුව ජීවත්වීමේ නිදහස, කතා කිරීමේ අයිතිය මේ වන විට අපට අහිමි බව එම ලිපියේ සඳහන් වන බවට වාර්තා වේ.

තලෙයිබාන් සංවාධානයේ අමනෝඥ නීති හේතුවෙන් ඔවුන් බලයට පත් වූ දා සිට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් හුදකලා වී සිටියි. බටහිර විසින් ඩොලර් බිලියන ගනනක් වටිනා ඇෆ්ගන් අරමුදල් කැටි කිරීම සහ රට ගෝලීය මූල්‍ය ආයතන වලින් බැහැර කිරීම හේතුවෙන් ආධාර මත යැපෙමින් තිබූ ඇෆ්ගන් ආර්ථිකය මේ වන විට කඩා වැටෙමින් ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ඇෆ්ගනිස්ථානයේ මිලියන 39 ක ජනතාවගෙන් අඩකට වඩා මානුෂීය ආධාර අවශ්‍ය වන අතර මිලියන හයක් සාගතයේ අවදානමට ලක්ව ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි