×

ඉදිරියේදී මුහුදු මට්ටම මීටර 2.5 කින් ඉහළ යාමට නියමිතයි – ග්‍රීන්ලන්ත අයිස් වැස්ම නොකඩවා දිය වෙයි

පසුගිය අවුරුදු 12,000 තුළ නොවූ විරූ අයුරින් ග්‍රීන්ලන්තයේ අයිස් දිය වන්නට ගෙන ඇති බව පර්‍යේෂණ පෙන්වා දෙයි; මෙය මුහුදු මට්ටම ඉහළ යාමට ද, මුහුදු දියවැල්වල සැලැකිය යුතු වෙනසක් ඇති කරන්නට ද හේතු විය හැකි බව කියැවේ.


නවතම ගණනය කිරීම්වලට අනුව, අයිස් දියවීමේ වේගය හොලොසින යුගයේ භූවිද්‍යාත්මක වාර්තාව හා සැසඳෙයි. මේ අවසාන අයිස් යුගයට පසු යුගය යි. මේ වේගය වැඩි වීමට ද ඉඩ ඇති බව Nature සගරාවේ පළ වූ පර්‍යෙෂණ පත්‍රිකාවක සදහන් වේ.

ග්‍රීන්ලන්තයෙන් පමණක් දිය වන අයිස් ප්‍රමාණය මේ සියවස අවසාන වන විට මුහුදු මට්ටම සෙ.මි. 2 සිට සෙ.මි. 10 දක්වා ඉහළ දමන්නට හේතුවිය හැකි බව ද මේ අධ්‍යයනය පෙන්වා දෙයි.

‘‘අප මේ ලෝකය කෙතරම් වෙනස් කර ඇතිද යත්, මේ සියවසේ අයිස් තට්ටු දියවීම මේ වසර 12,000 තුළ සිදුවූ ස්වභාවික සංසිද්ධි අතරින් වේගවත් ම අයිස් තට්ටු දියවීම යි,”

බෆලෝ විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාව සම්බන්ධ මහාචාර්‍යවරයකු මෙන් ම මෙම පර්‍යේෂණ පත්‍රිකාවේ ප්‍රධාන කතුවර වන ජේසන් බ්‍රයිනර් පවසයි.

සංසංදනාත්මක ව කෙටි කාලයක් වන සියවසක කාලයක් තුළ මෙතරම් වෙනසක් සිදු වීම අපේක්ෂා නොකරන ලද්දකි. වසර 10,000ත් 7,000ත් අතර කාලයක් තුළ ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව හැකිළුණු අතර පසුගිය අවුරුදු 4,000 තුළ කෙමෙන් එක් වෙමින් තිබිණ. සිදුවෙමින් පවතින අයිස් දිය වීම මේ ප්‍රවණතාව ආපස්සට හරවනු ඇති අතර මීළග වසර 1000 තුළ ද ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිය හොත්, මේ අයිස් තට්ටුව මුළුමණින් ම අතුරුදහන් වන්නට ද ඉඩ ඇත.

හරිතාගාර වායු පිටවීම දැඩි ව සිදුවුවහොත් දිය වීමේ වේගය වසර 12,000කින් මෙපිටින් අයිස් දියවීම සිදුවූ වේගය මෙන් හතර ගුණයක වේගයෙන් සිදුවනු ඇත.

“හරිතාගාර වායු පිටවීම අවම තත්ත්වයක්ට ගෙන් නොආවේ නම් අපට අපේක්ෂා නොකළ මට්ටමේ අයිස් ප්‍රමාණයක් ග්‍රීන් ලන්තයෙන් අහිමි විය හැකියි,” පර්‍යේෂණ පත්‍රිකාවට විචාරයක් සපයන ඇලස්කා ෆෙයාබෑන්ක්ස් සරසවියේ ඇන්ඩි ඇශ්වැන්ඩෙන් පවසයි.

මේ පර්‍යේෂණයේ හොයා ගැනීම් අවධාරණය කරන්නේ මිනිස් ක්‍රියාකාරකම් මේ තත්ත්වයට දැඩි ව බලපා ඇති බව යි.

පසුගිය සතියේ, විද්‍යාඥයන් කණ්ඩායමක් සොයා ගත්තේ, ඇන්ටාක්ටිකාවේ අයිස් වැස්ම, පැරිසියේ දි ගිවිසා ගත් උෂ්ණත්ව මට්ටමට ගෝලීය උෂ්ණත්වය තබා ගත්ත ද දිය වනු ඇති බව යි. එයාකාර උෂ්ණත්ව වර්ධනයක් තුළ මුහුදු මට්ටම මීටර් 2.5ක් දක්වා ඉහළ යනු ඇත.

ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව මෙන් ඇන්ටාක්ටිකාවේ අයිස් වැස්ම ද දිය වන්නට සියවස් ගණනක් ගත්ත ද, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වේගවත් වී ඇති අයිස් දිය වීමේ ප්‍රවණතාව ආපසු හරවන්නට ඉතා අපහසු බව ද මේ අධ්‍යයනය සොයා ගෙන් තිබේ.

ආක්ටික් මුහුදේ අයිස් ද ඉතා වේගයෙන් දිය වෙමින් පවතී. මේ වසරේ වසන්තයේ මුහුදු අයිස් අවමය පසුගිය වසර 40 තුළ වාර්තා වූ දෙවැනියට අවම අගය යි. පොළොවේ පවතින ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව මෙන් නොව ආක්ටික් අයිස් වැස්ම මුහුදේ පාවෙන බැවෙන ඉන් මුහුදු මට්ටමට දැඩ් බලපෑමක් එල්ල නො වේ.

කෙසේවෙතත්, දිය වීම වේගවත් වෙමින් උෂ්ණත්වය ඉහළ යන්නේ නම් එය පෘථිවියේ ඇල්බීඩෝව – එනම් අයිස්වලින් අවකාශයට නික්මෙන සෙවනැල්ල – අවම කරමින් තවත් උණුසුම උරා ගන්නා අඳුරු ජලයට නිරාවරණය වීම සිදු වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි