×

තෙල් කාන්දුවීම් සොයා ඊශ්‍රායල ඩ්‍රෝන යාත්‍රා ගුවන්ගත වෙයි

තෙල් ජලයට මුදාහැරීම මඟින් මුහුදු ඔටර් වැනි ලෝම දරන ක්ෂීරපායී සත්වයින්ගේ පරිවාරක හැකියාව අඩාල වන අතර, පක්ෂීන් ගේ පියාපත් වල ජලරෝධකභාවය අඩපණ කරයි.


ඊශ්‍රායල වෙරළාසන්න කළාප වල තෙල් කාන්දුවීම් සිදුව ඇති බවට වාර්තා වීමත් සමඟ නීරීක්ෂණ කටයුතු සඳහා ඩ්‍රෝන යාත්‍රා පිටත් කර ඇති බවට වාර්තා වෙනවා.

ජෙරුසලම් පුවත් සේවයට අනුව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය විකල්ප අග්‍රාමාත්‍ය බෙනී ගාන්ට්ස් මහතා ඊශ්‍රායල නාවික හමුදාවට උපදෙස් ලබා දී තිබෙන්නේ පරිසර දූෂණයට හේතු වන තෙල් කාන්දුවීම් නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යාත්‍රා පිටත් කරන ලෙසයි.

එරට පරිසර අමාත්‍යංශය විසින් සිදුකළ ඉල්ලීමකට අනුවයි මෙසේ ඩ්‍රෝන යාත්‍රා ගුවන් ගත කර තිබෙන්නේ.

මෑතකදී සැටලයිට් තාක්ෂණය ඔස්සේ ලබා ගත් දර්ශන වලින් හෙලිවී තිබෙන්නේ නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ තෙල් කාන්දුවීම් වලට සමාන ක්‍රියාකාරකම් මත සාගරය දූෂණය වීමට තුඩු දී ඇති බවයි.

මේ පිළිබඳ විමර්ශනය කිරීමට ඊශ්‍රායල පරිසර අමාත්‍යංශය කටයුතු කර තිබෙන අතර, එහි එක් පියවරක් ලෙස ඩ්‍රෝන යාත්‍රා ගුවන් ගත කර සාක්ෂි එක් කර ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය වෙතින් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

තෙල් කාන්දුවීම සාගර පරිසර පද්ධතීන් වල ප්‍රාථමික නිශ්පාදනය අවහිර කරන අතරම, සාගර ජීවයට සෘජුවම දරුණු බලපෑමක් එල්ල කරනු ලබනවා.

එමෙන්ම තෙල් කාන්දු වීම සාගර පක්ෂීන් මෙන්ම ක්ෂීරපායී සතුන්ට ද බෙහෙවින් හානිකරය.

තෙල් ජලයට මුදාහැරීම මඟින් මුහුදු ඔටර් වැනි ලෝම දරන ක්ෂීරපායී සත්වයින්ගේ පරිවාරක හැකියාව අඩාල වන අතර, පක්ෂීන් ගේ පියාපත් වල ජලරෝධකභාවය අඩපණ කරයි.

ප්‍රමෝද් චින්තක පීරිස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි