×

‘‘මම මගේ ජනාධිපතිතුමා කියන දේට ඇහුම්කන් දුන්නා.. මම පෙන්නුවෙ මගෙ දේශප්‍රේමය…!‘:‘කැපිටල් හිල් මැරයෝ ජනපති සමාව අයදිති

දේපළ වෙළඳාම් තැරැව්කාරියක වන ජෙනා රයන් කැපිටල් හිල් ප්‍රහාරයට දායක වීම සඳහා වොෂින්ටනය බලා ගියේ පුද්ගලික ජෙට් යානයකිනි.


දැන්, ෆෙඩරල් බලධාරීන්ගේ අත්අඩංගුවට පත් වීමෙන් පසුව ඇය ට්‍රම්ප් ට කියා සිටින්නේ තමන්ට ජනාධිපති සමාව දිය යුතු බව ය.

පසුගිය සිකුරාදා දිනයේ FBI වෙත භාරවීමෙන් පසුව ඇය මෙසේ කීවාය. ‘‘අපි හැම කෙනෙකුටම සමාව ලැබිය යුතුයි..‘‘

මේ වන විට ජෙනා රයන් සිර දඬුවමකට ලක් වීමේ අවදානමෙන් පසුවන්නීය. ‘‘මම හිතන්නෙ මම හිරේ යන්න ඕනෙ නෑ..‘‘ යැයි ද ඇය කීවාය. CBS11 වැඩසටහනේදී එසේ කී ඈ, ඉන්පසු කැමරාව වෙත හැරී මෙසේ ද කීවාය. ‘‘මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මට සමාව දෙන ලෙස…‘‘

පොලිස් නිලධාරීන් ඇතුළු 5 දෙනෙකු මිය ගිය මෙම මැර ප්‍රහාරය නිසා ඇමරිකාවේ නීති සාධන උත්තරීතර කොංග්‍රසයේ නියෝජිතවරුන්ට පණ බේරාගැනීම සඳහා දිව යාමට ද හැංගීමට ද සිදුවිය.

මේ ලෝකයේ සිටින ඕනෑම ජාතිකවාදී අන්තගාමියෙකු මෙන් ජෙනා රයන් ද මෙසේ කීවාය.

‘‘මම මගේ ජනාධිපතිතුමා කියන දේට ඇහුම්කන් දුන්නා.. මම පෙන්නුවෙ මගෙ දේශප්‍රේමය…!‘‘

ඇගේ නඩු විභාගයේදී ඉදිරිපත්ව තිබූ සාක්ෂි මොනවාද?

එකක් නම්, පුද්ගලික ජෙට් යානයක නැගී ආඩම්බරයෙන් වොෂින්ටන් ඩීසී බලා ඒමට පෙර ගත් ඡායාරූපයකි. ඒ ප්‍රහාරයට පෙර දිනයේය. ඉන්පසුව කැපිටල් හිල් ගොඩනැගිල්ලේ පියගැට පෙළ මත සිට ගත් ඡායාරූපයකි. අනතුරුව ට්‍රම්ප්හිතවාදී මැර කල්ලිය විසින් සුණු විසුණු කර දැමූ ජනේලයක් අසල සිට ගත් ඡායාරූපයකි. “We’re gonna go down and storm the Capitol,” යනුවෙන් රයන් පවසන ෆේස්බුක් වීඩියෝවක් ද නඩු විභාගයේදී ඉදිරිපත් විය. එම වීඩියෝවේදී ඇය මෙසේද කියයි.

‘‘උන් ඉන්නෙ මෙතැන පහළ…. ඒ නිසා තමයි අපි ආවෙ. ඒක තමයි අපි කරන්න යන්නෙ… මට සුබ පතන්න!‘‘

එයින් නොනැවතී ෆේස්බුක් ලයිව් වීඩියෝවක් ද කලබලය අතරතුර ඇය විසින් සමාජ ජාලය වෙත මුදා හැර තිබිණි. ‘‘ජීවිතය හෝ මරණය… ප්‍රශ්නයක් නෑ..‘‘

“We are going to fucking go in here. Life or death, it doesn’t matter. Here we go.”

ඇය කැපිටල් හිල් පියගැට පෙළ මතට නැග සිය දේපළ වෙළඳාම් ලෝගෝව ප්‍රදර්ශනය කරමින් අලෙවි ප්‍රචාරණයක ද යෙදුණාය. ඉන්පසුව ට්විටර් හි මෙසේ සටහනක් ද තැබුවාය. ‘‘අපි මේ දැන් කැපිටල් හිල් වෙත කඩා වැදුණා.. අද මගෙ ජීවිතේ හොඳම දවස්වලින් එකක්..‘‘

යක්දෙස්සෙක්ද සාමකාමියෙක්ද?

QAnon Shaman – ක්වානොන් යක්දෙස්සා ලෙස ප්‍රකට වූ, සත්ව අඟක් සහ සත්ව සම් පැළඳ කැපිටල් හිල් වෙත කඩා වැදුණු පුද්ගලයා වන ජේකොබ් කැන්ස්ලි ද මේ වන විට අත්අඩංගුවට පත් ව සිටින අතර, ඔහුට ඇප ලබාදීම ද ඊයේ දිනයේ ප්‍රතික්ෂේප විය. ඔහු ද ජනපති සමාව ඉල්ලා තිබේ. ඔහුට විරුද්ධව ෆෙඩරල් අධිකරණය විසින් චෝදනා 6 ක් නගා තිබේ.

කෙසේ නමුත් ඔහුගේ නීතීඥවරයා විසින් හෙළිදරව් කළ අන්දටම ඔහු යෝගා ව්‍යායාමවල නිතර යෙදෙන, අපරාධ ක්‍රියාවල යෙදුණු බවට කිසිදු පෙර වාර්තාවක් නැති අයෙකි. කාබනික ආහාර පමණක් ගන්නා නිසා ඔහුට දැන් ෆෙඩරල් බන්ධනාගාරයෙන් දෙන කෑම ප්‍රතික්ෂේප කිරීමට ද සිදුව තිබේ.

අධිකරණයේදීත් මාධ්‍යවලටත් ඔහුගේ නීතීඥවරයා විසින් ඔහුව හඳුන්වා දෙන්නේ ‘සාමකාමී මිනිසෙකු‘ ලෙස ය.

‘‘ජනපතිගේ ඇරයුම පිළිගත් ඔහුගේ මේ සාමකාමී අනුගාමිකයන්ට සමාව දීම ගෞරවනීය දෙයක්..‘‘ යැයි ඔහුගේ නීතීඥයා කියයි.

ට්‍රම්ප් මීට පෙර ද සිය දේශපාලන අනුගාමිකයන්ට සමාව දීම සඳහා ‘ජනාධිපති සමාව‘ පාවිච්චි කර තිබේ. නමුත් ඔවුන්ව කුපිත කළ, ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ඔවුන් ව පෙළඹවූ නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් සිටින්නේ එතරම් බලවත් තත්වයක නොවේ. පළමුව, ජනවාරි 20 වැනිදායින් ඔහුගේ ධුර කාලය අවසන් වෙයි. අනතුරුව ඔහු ගෙදර යා යුතුය. දෙවැනුව, ජනවාරි 6 කැපිටල් හිල් ප්‍රහාරයෙන් පසුව, දෙවරක් දෝෂාභියෝගයට ලක් වූ පළමු ඇමරිකානු ජනපතිවරයා බවට ට්‍රම්ප් පත්වූ නිසා ඔහුට ඉතිරි දින 3 පවා ධුරයේ රැඳී සිටීමට හැකි වේද යන්න අවිනිශ්චිත ය.

ලංකාවේ ජනාධිපති සමාව සහ ඇමරිකාවේ ජනාධිපති සමාව

ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 ව්‍යවස්ථාවේ (Article II) 2 වගන්තියේ (Section 2) පළමු අතුරුවිධානය (Clause 1) අනුව ඇමරිකානු ජනපතිවරයාට අපරාධ වරදකරුවන්ට සමාව දිය හැකිය. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය වරක් ප්‍රකාශ කළ පරිදි මෙම ජනපති සමාව යනු, ‘වරදකාරිත්වය සනාථ කරන්නක් සහ පාපොච්චාරණයේ ප්‍රකාශනයක්‘ වේ. නමුත් මෙහි සීමා තිබේ. එනම් ඔහුට සමාව දිය හැක්කේ ෆෙඩරල් වැරදිවලට මිස ‘රාජ්‍යයට එරෙහි වැරදි‘වලට නොවේ. ඇමරිකාවේ කොංග්‍රසයට මැරයන් කඩා වැදීම ෆෙඩරල් වරදක් නොව රාජ්‍යයට එරෙහි වරදක් විය හැකිය.

අනෙක් අතට මේ සිද්ධි දාමය දිග හැරෙන්නේ ලංකාවේ නොව ඇමරිකාවේ ය. ලංකාවේ ඕනෑම අධිකරණයකින් ඕනෑම වරදකට වරදකරුවෙකු කළ අයෙකුව නිදහස් කිරීමට එමගින් බලය තිබේ. සුළු වැරදිවලට බන්ධනාගාර ගත ව සිටි සිරකරුවන් 444 දෙනෙකුට වසංගතය සලකා නිදහස හිමිවීම ලංකාවේ ජනපති සමාවේ සාධනීය තත්වයක් විය. නමුත් මිරුසුවිල් හිදී දරුවන් තිදෙනෙක් ඇතුළුව දමිල සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කළ බවට අධිකරණය විසින් තීරණය කළ, 2019 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ සිද්ධියේ වරදකරුට 2020 අප්‍රේල් මාසයේදී ජනපති සමාව හිමිවීම වැනි සිද්ධි විසින් ලංකාවේ වගවීම නැවත නැවතත් ප්‍රශ්න වෙමින් තිබේ. ලංකාවේ ජනාධිපති සමාව ගැන ඇස් උඩ හිඳුවන මෙවැනි උදාහරණ අපමණ ය. එය සෑම කලෙකම සියලු පක්ෂවල ජනපතිවරුන් විසින් කළ දෙයකි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති සමාව ට අදාළ 34(1) ව්‍යවස්ථාව පවතින්නේ ජනපතිවරුන්ට සිය විධායක බලය අත්තනෝමතික ලෙස භාවිතා කරන්නට දුන් බලපත්‍රයක් ලෙස ය.

අපරාදෙ – ලංකාවෙ ඉපදෙන්න තිබුණෙ!

ලංකාවේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රංශ සහ ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇසුරින් නිරුක්තිය ලදැයි කියැවේ. බෙහෙවින් විවාදසම්පන්න මෙම කාරණය, සරල ලෙස මෙසේ ද පැවසිය හැකිය. අප, බොබ් මාලේගේ ගීතයේ තිබූ විප්ලවීය දේශපාලනය වෙනුවට ඔහුගේ ගංජා සුරුට්ටුව සහ කැරළි කොණ්ඩය පමණක් ආදේශ කරගත් ජාතියකි. ඒ අන්දමින්ම ඇමරිකානු ආණ්ඩුක්‍රමයේ එන ජනපති සමාව ‘දේශීයකරණයට‘ ලක් කර, සියල්ලටම ඉහළින් සිටින අධිකතර බලතල සහිත ජනපති ධුරයක් නිර්මාණය කර ගත් ජාතියකි. ඒ නිසා යම් හෙයකින් කැපිටල් හිල් ප්‍රහාරය සිදුවූයේ ලංකාවේ නම්, ඔවුන් දැනටමත් ජාතික වීරයන් බවට පත් ව සිටිනු ඇත. ඇමරිකාවේ කොංග්‍රසයට සමකාර්ය ලංකාවේ පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගැසූ මන්ත්‍රීවරුන් ජනතාවගේ වීරයන් වී සිටින ආකාරය සිහියට නගා ගන්න. ඉතින් කොංග්‍රස් බිල්ඩිමට කඩා වැදී ප්‍රජාතන්ත්‍රවාදයට පහර දුන් ජෙනා රයන් සහ අං පැළඳි යෝගියා ලංකාවේ සිටියා නම් ‘රට-ජාතිය වෙනුවෙන් කැප වූ – ජනපතිගේ ජාතික වීරයන්‘ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි