×

මලික් පීරිස්ට චීන නොබෙල් සම්මානය !

සාර්ස් සහ මර්ස් වෛරස සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වෙනුවෙන් මෙම සම්මානය හිමිව තිබේ.


ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්ය මලික් පීරිස් මහතාට ජාත්‍යන්තර සම්මානයක් හිමිව තිබෙනවා. චීන විසින් පිරිනමන මෙම සම්මානය හැඳින්වෙන්නේ අනාගත විද්‍යා ත්‍යාගය ලෙසයි. වාර්ෂිකව පිරිනමන මෙම ත්‍යාගය සඳහා මෙම වසරේදී මහාචාර්ය මලික් පීරිස් මහතා සහ චී මහාචාර්යවරයෙකු වන යූන් ක්වොක් යුන්ග් මහතා තෝරාගෙන තිබෙනවා.

මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ 2003 වසරේදී සාර්ස් සහ මර්ස් යන වෛරස සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ හේතුවෙන් මලික් පීරිස් මහතා මෙම සම්මානය සඳහා තෝරාගෙන ඇති බවයි.

2016 වර්ෂයේ සිට චීනය විසින් කීර්තිමත් විද්‍යාඥයන්ගේ විද්‍යාත්මක සොයා ගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් අනාගත විද්‍යා ත්‍යාගය පිරිනැමීම ආරම්භ කළ අතර මෙය චීන නොබෙල් ත්‍යාගය නමින්ද හඳුන්වනවා. මෙම සම්මානය සමග ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක්ද හිමි වේ.

මලික් පීරිස් මහතා හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන අතර කොවිඩ් වෛරසය ලොවපුරා ව්‍යාප්ත වීමත් සමග මලික් පීරිස් මහතාගේ නමද ලොවපුරා ප්‍රචලිත විය. ඒ කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ සඳහා ඔහු දැක්වූ දායකත්වය හේතුවෙනි.

යූන් ක්වොක් යුන්ග් මහාචාර්යවරයාද හොංකොං විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ සේවය කරයි.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි