×

මරණ ලක්ෂ 3 ක් සහ ආසාදිතයන් මිලියන 5 ක් සමග ලොව යන අත

ලොව පුරා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 5 ඉක්මයද්දී කොවිඩ් වසංගතය විසින් ලෝකයේ ඉරණම් කතාව වෙනස් වෙනස් කරමින් තිබෙන්නේ මෙසේ ය.


පෙරු රාජ්‍යයේ කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂය පනියි!

ඊයේ දිනය වන විට ලතින් ඇමරිකානු රටක් වන පෙරු රාජ්‍යයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියේය.

ඒ අනුව බ්‍රසීලයට පමණක් දෙවැනි වන, ලතින් ඇමරිකාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට බවට පෙරු රාජ්‍යය පත් වේ.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්තවලට අනුව, ගෙවී ගිය පැය 24 ඇතුළත කොවිඩ් ආසාදිතයන් 160,000 ක් ගෝලීය වශයෙන් වාර්තා විය. මේ, එක් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.

මේ වන විට ලෝකය පුරා සිටින කොවිඩ් ආසාදිතන්ගේ සංඛ්‍යාව මිලියන 5 සීමාව ඊයේ ඉක්මවා ගියේය. ලක්ෂ 3 කට වැඩි ප්‍රමාණයක් එනම්, 323,000 ක් මේ වන විට රෝගය හේතුවෙන් මිය ගොස් ඇත.

රෝගය වැළඳී සුවය ලබා ඇති සංඛ්‍යාව මිලියන 1.9ක් පමණ වේ.

 

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් බලධාරීන් ලොක්ඩවුන් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් බලධාරීන් ලොක්ඩවුන් තත්වය ලිහිල් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට තීරණය කර තිබේ.

ඒ, ස්පාඤ්ඤ ආණ්ඩුව ලොක්ඩවුන් කිරීම ලිහිල්කරණය ප්‍රතික්ෂේප කරමින් සිටින නිසා ය.

මැඩ්රිඩ් කලාපය, ස්පාඤ්ඤයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ කලාපයයි. ස්පාඤ්ඤයේ 232,000 ක් වූ ආසාදිතයන් අතරින් 67,000 ක් පමණ වාර්තා වූයේ මැඩ්රිඩ් කලාපයෙනි. එසේ වුවත් මැඩ්රිඩ් බලධාරීන් පෙන්වා දෙන්නේ මෙසේ ලොක්ඩවුන් කිරීමෙන් පමණක් ප්‍රශ්නය විසඳිය නොහැකි බවයි.

 

බ්‍රසීලය ක්ලෝරොක්වීන් මත යැපේ!

ලතින් ඇමරිකාවේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් සිටින රට බවට පත්වීමෙන් අනතුරුව බ්‍රසීලය මේ වනවිට තීරණය කර තිබෙන්නේ ක්ලෝරොක්වීන් භාවිතය වැඩි කරන්නට ය.

මෙම නව තීරණය ගනු ලැබුවේ එක් දිනක් ඇතුළත බ්‍රසීල ජාතිකයන් 888 දෙනෙකු රෝගයෙන් මිය යාමත් සමග ය.

මෙම මැලේරියා මර්දන ඔසුව, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොවිඩ් වසංගතයට ඔසුවක් ලෙස කියා සිටි ඔසුවයි. නමුත් එහිදී බරපතළ අතුරු ආබාධ ඇති විය හැකි බව ඔහු නොසලකා හරියි.

බරපතළ ට්‍රම්ප්වාදියෙකු වන, රෝගයේ බරපතළ කම නොසලකා හරින බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ ද මේ අනුව සිය රට තුළ ක්ලෝරොක්වීන් ප්‍රවර්ධනය කරමින් සිටියි. කෙසේ වෙතත්, මේවන විට ඇමරිකාව, ලෝකයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට බවට පත්ව සිටින බව ඔහු මෙහිදී අමතක කරයි.

 

දකුණු අප්‍රිකාවේ 50,000ක්වත් කොවිඩ් නිසා මිය යාවි!

දකුණු අප්‍රිකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වසර අග වන විට 50,000 ඉක්මවිය හැකි බවට දකුණු අප්‍රිකානු විද්‍යාඥයෝ අනතුරු අඟවති. ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවනු ඇත. දක්ෂිණාර්ධගෝලයට ශීත සෘතුව පැමිණීමත් සමග මේ තත්වය තවත් බරපතළ වනු ඇතැයි ඔවුහු කණස්සල්ල පළ කරති.

මේ වන විටත් අප්‍රිකානු මහද්වීපයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවෙනි. මරණ 339 ක් මේ දක්වා සිදුව ඇති අතර, 18,000 ක් දෙනා ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන ඇත. කෙසේ වෙතත්, රට පුරා 8 වන සතියටත් ක්‍රියාත්මක වන ලොක්ඩවුන් තත්වය විසින් රෝගයේ ව්‍යාප්තිය අඩු කර ඇති බවට ද වාර්තාවල දැක්වේ.

 

ඉන්දියාවෙන් කොවිඩ් රෝගීන් වැඩිම සංඛ්‍යාවක්

ඉන්දියාව, ගෙවී ගිය පැය 24 ඇතුළත නව ආසාදිතයන් 6000 ක් වාර්තා කරමින් බැරෑරුම් අඩියකට පත්ව සිටියි. මේ තත්වය වාර්තා වන්නේ මෝදි රජය විසින් ලොක්ඩවුන් තත්වය සැහැල්ලු කරමින් සිටින අතරවාරයේ වීම ද විශේෂත්වයකි.

 

රුසියාවෙන් මරණ 150 ක්

ගෙවී ගිය පැය 24 ඇතුළත රුසියාවෙන් මරණ 150 ක් වාර්තා වී තිබේ. මේ අනුව රටේ නිල කොවිඩ් මරණ සංඛ්‍යාව 3,249 දක්වා ඉහළ යයි.

 

මැලේසියාවේ නව රෝගීන් 78 දෙනෙක් සමග මරණයක්

මැලේසියාවෙන් ගතවූ පැය 24 ඇතුළත නව රෝගීන් 78 දෙනෙකු සමග එක් මරණයක් වාර්තා වී තිබේ. මේ වන විට මැලේසියාවේ සිටින කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 7,137 කි. මරණ සංඛ්‍යාව 115කි.

 

තායිලන්තය, කොවිඩ් හදිසි තත්වය ජූනි අග දක්වාම දීර්ඝ කරයි

කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති හදිසි තත්වය තායිලන්තය විසින් ජූනි දක්වාම ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.

මේ අනුව ජූනි මස අගභාගය වන තෙක්ම සාප්පු සංකීර්ණ යනාදිය විවෘතව පවතිනු ඇත්තේ සතිඅන්තවල පමණි.

 

ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවන් සිටින රටවල් 10

අල්ජසීරා පුවත්සේවය විසින්, ලෝකය කොවිඩ් මිලියන 5 ඉක්මවූයේ කෙසේදැයි සොයා බලයි. ඒ අනුව ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් සිටින රටවල් 10 මෙසේ ය.

  1. ඇමරිකාව – 1,551,853
  2. රුසියාව – 308,705
  3. බ්‍රසීලය – 291,579
  4. එක්සත් රාජධානිය – 249,619
  5. ස්පාඤ්ඤය – 232,555
  6. ඉතාලිය – 227,364
  7. ප්‍රංශය – 181,700
  8. ජර්මනිය – 178,473
  9. තුර්කිය – 152,587
  10. ඉරානය – 126,949

 

පෙර ලිපිය-

ඇමරිකාවේ අධිශීත මෝචරි සමග ගෝලීය කොවිඩ් මරණ ගණන ලක්ෂ 3 ඉක්මවයි

ඇමරිකාවේ අධිශීත මෝචරි පේළි සමග ගෝලීය කොවිඩ් මරණ ගණන ලක්ෂ 3 ඉක්මවයි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි