×

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු රෆායෙල් කැරෝ ක්වින්ටෙරෝ අත්අඩංගුවට

වොෂින්ටනය විසින් ඔහු අල්ලා ගැනීම හා සම්බන්ධව ලබා දෙන තොරතුරු වෙනුවෙන් ඩොලර් මිලියන 20ක ත්‍යාගයක් ලබා දෙන බවට ද නිවේදනය කර තිබිණ.


ඇමරිකන් එක්සත් ජනපදයෙහි 2013 වසරේ සිට පලාගිය අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටි මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු රෆායෙල් කැරෝ ක්වින්ටෙරෝ වසර ගනනාවක විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙක්සිකොවේ බටහිර සිනලොවහි වන ලැහැබක සැඟව සිටියදීය.

ක්වින්ටෙරෝ වෙනුවෙන් ඇති චෝදනා අතර පුද්ගලයන් බලෙන් පැහැරගෙන යාම, වද හිංසාවට පැමිණවීම හා මරුමුවට පත් කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම වේ. අත්අඩංගුවට පත් වීමෙන් පසු ඔහු වහාම පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටීමට නියමිත බවද පැවසේ. මෙම අත්අඩංගුවට පත්වීම පිළිබඳ ඇමරිකානු නීතිපති ජනරාල් මෙරික් ගාලන්ඩ් ප්‍රකාශ කර තිබුණේ ඇමරිකානු නීතිය තුළ කිසිදු අපරාධකරුවෙකුට සැඟව සිටීමට නොහැකි බවයි. එමෙන්ම ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ලතින් ඇමරිකානු උපදේශක ජුවාන් ගොන්සාලෙස් ට්විට්හි සඳහන් කර තිබුණේ මෙම අත්අඩංගුවට ගැනීම රජය ලැබූ අතිශය විශාල ජයග්‍රහණයක් බවයි.

ඔහු එක්සත් ජනපදයේ හිටපු මත්ද්‍රව්‍ය පාලක මණ්ඩලයේ නියෝජිත එන්රික් කැමරේනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 40ක කාලයක් සිරගත කිරීමට නියම විය. 2013 වසරේදී මෙක්සිකානු අධිකරණය විසින් පොදු සමාව යටතේ ඔහුගේ වසර 40ක දඬුවම් කාලය අහෝසි කරන ලදි. මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කළ අතර ක්වින්ටෙරෝ ඒ වන විටත් සඟව සිටින්නට විය. ඇමරිකානු නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ ඔහු නැවත වරක් පෙර තිබූ සිය මත්ද්‍රව්‍ය ජාවාරම ඇරම්භ කළ බවයි. වොෂින්ටනය විසින් ඔහු අල්ලා ගැනීම හා සම්බන්ධව ලබා දෙන තොරතුරු වෙනුවෙන් ඩොලර් මිලියන 20ක ත්‍යාගයක් ලබා දෙන බවට ද නිවේදනය කර තිබිණ.

ක්වින්ටෙරෝ අත්අඩංගුවට පත් වීමත් සමඟ විශාල පණිවිඩයක් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලැබුණ බවත්, ඔහු තව දුරටත් වැදගත් නොවුන මුත්, මෙම අත්අඩංගුවට ගැනීම විශාල ජයග්‍රහණයක් බවත් බලධාරීන් නිවේදනය කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි