×

යකුසා මාෆියාවට ජීවිතය දෙන නග්න ගැහැණු

‘යකුසා‘ යනු ජපාන මාෆියාවයි. සාමාජිකයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සිටින එය, ලෝකයේ විශාලතම අපරාධ සංවිධානය ලෙස ද සැලකේ.


කිසිවෙක් ප්‍රසිද්ධියේ ඒ නම නොමුමුණති. නමුත් සියල්ලෝම ඒ ගැන දනිති. අඩු වැඩි වශයෙන්….

නමුත් ෂෝලේ ජැෆේ (Chole Jafe) නමැති සුරූපී ඡායාරූප ශිල්පිනිය තරම් ඒ ගැන දන්නේ කවුද? යකුසා බොස්ලා අතර ගැවසෙමින්, ඔවුන්ගේ පුද්ගලික ජීවිතය සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් ඡායාරූපයට හසු කර ගැනීම, සිය වෘත්තීය ජීවිතයේදී සිදුකළ අසීරුතම ව්‍යාපෘතිය බව ඇය කියයි.

‘‘කිසිම කෙනෙක් ප්‍රසිද්ධියේ ‘යකුසා‘ කියන අකුරු ටික කියන්නේ නැහැ….‘‘

අඩුම වශයෙන්, යකුසා යන්න හස්ත මුද්‍රාවෙන් පවා සලකුණු කරන්නේ නැත.

‘The Secret Lives of Yakuza Women’ හෙවත් ජපන් මාෆියා ගැහැණුන්ගේ ජීවිත ගැන ව්‍යාපෘතිය ඇය ආරම්භ කර තිබෙන්නේ 2013 වසරේදී ය. ඒ සඳහා ඇය ජපානයට යන්නේ, ජපන් සමාජය තුළ ගැහැණුන්ගේ භූමිකාව පිළිබඳ අධ්‍යයනය කිරීම පිණිස ය. නමුත් ඇය අවසානයේ නතර වන්නේ යකුසා ගැහැණුන්ගේ රහස් ජීවිත හෙළිදරව් කර ගනිමිනි. එයින් නොනැවතී අති දුර්ලභ ඡායාරූප රැසක් සහිත ග්‍රන්ථයක් ප්‍රකාශනය කරමිනි.

සමාජයේ අතිශය භයානක රහස් රැසක් සඟවාගෙන සිය සැමියන්ට දිවි හිමියෙන් පති භක්තියෙන් පසුවන මේ ගැහැණුන් ගේ ජීවිත හෙළිදරව් කර ගැනීමේ ව්‍යාපෘතිය සඳහා ඇයට 200%ක් කැප වන්නට සිදු විය. ඒ සඳහා ඇය වෙස් වළා ගත්තේ පරිවාර සේවිකාවක ලෙස ය. ඔවුන් නිතර යනෙන සුපිරි හෝටලයක සේවිකාවක ලෙස ය. සත්‍ය වශයෙන්ම එහිදී ඇයට පැවරුණු රාජකාරිය වූයේ සිය පාරිභෝගිකයන් සමග වචනයක් දෙකක් කතා කරමින් ඔවුන් ව සුප පහසුවෙන් තැබීමයි. ඔවුන්ට නිමක් නැතිව සකේ පානය ලබා දෙමින්, ඔවුන් සිනාසෙන විට සිනාසෙමින්, ඔවුන් බැරෑරුම් මුහුණක් මවා ගන්නා විට බැරෑරුම් ලෙස බිම බලා ගැනීමයි. එය කිසිදු ආකාරයක ලිංගික සේවාවක් සැපයීමක් නොවිණි.

ඇයට මුල් වරට ‘යකුසා බොස් කෙනෙකු‘ මුණ ගැසෙන්නේ ඉතාම අහම්බෙනි. අවට සිටිවුන්ගේ ආචාර සමාචාර මැද වැජඹුණු මේ මිනිසා යකුසා බොස් කෙනෙකු යැයි ඇයට කොඳුරා කීවේ අසල සිටි පොලිස් භටයෙකු විසිනි. යකුසා ප්‍රධානියා යම්කිසි විශේෂ ලාංඡනයක් පැළඳ ගෙන සිටින ආකාරය ඇයට පැවසුවේ ඔහු ය.

කුමක් හෝ හේතුවක් නිසා යකුසා ප්‍රධානියා, තමන් සමග බියර් වීදුරුවක් තොල ගාන ලෙස ඇයට ඇරයුම් කළේය. ඒ අනුව ඔහු පිටුපස ගොස් ඔහු වැනිම තවත් බොහෝ දෙනෙකු සිටි මේසයක අසුන් ගන්නට ඇයට අවස්ථාව හිමි විය. එය සාදයක් වූයෙන් බොහෝ අමුත්තෝ එහි වූහ.

එය ආරම්භය විය. පුරා වර්ෂ 6 ක් ඇය ඔවුන්ව සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් ව සමීප ලෙස නිරීක්ෂණය කළාය.

ඇය කරන්නේ කුමක්දැයි යකුසා කල්ලිය කිසි විටෙක සැක කළේ නැත. එසේ සැක කළා නම්, මේ කතාව ලොවට කියන්නට ඇය ඉතිරි වන එකක් නැත.

යකුසා බිරින්දෑවරුන් ඡායාරූප ගත කිරීම හැබෑම අභියෝගයකි. මුලින්ම ඇය යකුසා බොස්ගේ විශ්වාසය දිනා ගත යුතුය. ඉන්පසු ඔහුගේ පක්ෂපාතී බිරින්දෑගේ…

ෂෝල් හට පළමු කාන්තාවගේ සිත දිනාගැනීම අතිශයින්ම අසීරු විය. ඇය සිය සැමියා වෙත හෝ ඔහුගේ මුදල් වෙත ආසක්ත වී සිටින්නේ ද යන පැනය යකුසා බිරිඳගේ සිතට නැගෙන්නට ඇත. ඒ අන්දමින් ඇය විසින් ලබාගත් පළමු ඡායාරූපය, යකුසා බිරිඳක් පිටුපස හරවාගෙන ඇඳුම් අඳින අවස්ථාවකදී ගත් එකකි.

පසුකාලීනව ඇය, යකුසා ගැහැණුන්ගේ අනුදැනුම ඇතිව ඔවුන්ගේ පිටුපස ඡායාරූප රැසක් ගත්තාය. ඒවා හැම එකක්ම පාහේ නග්න රූප ය. නමුත් ඒ නග්න රූපය, සහමුලින්ම පාහේ පච්චාවලින් වැසී තිබේ.

කොතරම් විශ්වාසය දිනාගත්තත්, යකුසා ගැහැණුන් ඡායාරූපයට නැගිය යුතුදැයි තීරණය කළේ යකුසා පිරිමින් විසිනි. ඒ තීරණය යකුසා ගැහැනියට ස්වාධීනව කිසිවිටෙක ගත හැකි නොවිණි.

යකුසා සාමාජිකයෙකු සමග දීග ගිය ගැහැණියකගේ හැම දිනයක්ම සම්ප්‍රදායික ජපන් ගෘහණියකගේ දිනපොත සිහිගන්වයි. කිසි වෙනසක් නැත. ඔවුන් පිරිමින් වෙනුවෙන් කැප වී සිටින පිරිසකි. එකම වෙනස නම්, සිය සැමියන් දිනපතාම නිවසට එන්නේ මධ්‍යම රාත්‍රියේ බව ඔවුහු දැන සිටියහ. මැසිවිලි නොනගා ඒ වෙනුවෙන් නිදි වරන්නට ඔවුහු පුරුදු ව සිටියහ.

යකුසා ගැහැණුන්ගේ විශේෂත්වය වූයේ, විවාහයත් සමග ඔවුන් ද යකුසා සමාජයේ සාමාජිකයන් බවට නිතැතින්ම පත් වීමයි. එම සමාජය තුළ ඔවුන්ට හිමි තැන, ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ට යකුසා කල්ලියේ හිමි තැන විසින් තීරණය කරයි. උදාහරණයක් ලෙස, යකුසා ප්‍රධානියෙකු සමග විවාපත් වූ ගැහැණියට සිය සැමියාගේ වගකීම්වලට අමතරව, කල්ලියේ වගකීම් ද සමහරක් පැවරෙයි. ඇය බොහෝ විට එම යකුසා කල්ලිය සඳහා උපදේශකවරියක් සහ මුදල් කළමනාකාරිනිය ලෙස ද කටයුතු කරයි. මේ තත්වය, බොහෝ සම්ප්‍රදායික ජපන් පවුල්වල බිරිඳගේ භූමිකාව තුළ දක්නට නොලැබෙන්නකි.

යකුසා ගැහැණුන්ගේ පච්චා හෙවත් ටැටූස් මගින් ඔවුන්ගේ ශරීරවල විශාල කොටසක් වැසේ. පිටේ සිට අත් දක්වාද, පාද දක්වා ද ඒවා විහිදේ. පච්චාවලින් ඇඟ සරසා ගැනීමේදී යකුසා කල්ලියේ ගැහැණු-පිරිමි භේදයක් නැත.

ජපන් බසින් මේ ඇතැම් පච්චයකට කියන්නේ ‘ඔමාමොරි‘ කියා ය. ඒවා ආරක්ෂක මන්ත්‍ර ලෙස සැලකේ.

මෙම පච්චා, අතිශයින්ම සෞන්දර්යාත්මක ය.

නමුත් මේ පච්චා කෙටීමත් සමග යකුසා ගැහැණුන්ට ඇති එකම සරණ බවට ද යකුසා මාෆියාව පත් වේ. මන්ද යත්, මේ පච්චා යකුසා හි සංකේතයක් බව සමාජය දන්නා හෙයින්, මේ ගැහැණුන්ට කිසිදු අවස්ථාවක ලෙහෙසියෙන් රැකියාවක් සොයාගත නොහැකි වනු ඇත.

ඔවුන් යකුසා සාමාජිකයෙකු සමග සිදුකරගන්නා විවාහය සදාකාලික ය. ඔවුන්ට කිසිදා ගැළවීමක් නැත.

ඒ නිසාම මේ ඡායාරූප ව්‍යාපෘතිය, මේ ඡායාරූප ශිල්පිනිය විසින් නම් කර තිබෙන්නේ ‘මම ඔබට මගේ ජීවිතය දෙනවා..‘‘ I give you my life’ යනුවෙනි. සැබවින්ම ඔවුන්ට මේ ජීවිතයේ දැන් එය හැර කළ හැකි වෙනත් දෙයක් ඉතිරි වී ද නැත.

මූලාශ්‍රය – BBC



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි