×

වසංගතයක් නිසා වසර තුනක් වසා දැමූ නිව්යෝක් නුවරදී – I am the Legend

මීට අවුරුදු 14කට කලින්, එක්තරා වයිරසයක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය පුරා ව්‍යාප්ත වෙන්න ගන්නවා. එය මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවුණු වයිරසයක්. මෙයින් බොහෝ මිනිසුන් මැරෙනවා වගේම ඉතුරුවෙන අය සොම්බි ජීවිත බවට පත්වෙනවා. 


වසංගතයෙන් බේරෙන්න නගරය සම්පූර්ණයෙන් වසාදමන්න රජය තීරණය කරනවා. මිනිසුන් වෙනත් නගරවලට යනවා. වසර තුනක් තිස්සේ නගරය කිසිම මිනිහෙක් නැතිව හුදකලා වෙනවා.

අවුරුදු තුනක් අතෑරලා දාපු නගරයක් මොන වගේ ද?  නගරයේ වීදිවල වාහන නැවතූ නැවතූ තැන්වලම මලකඩකාලා. දූවිලි පිරුණු අපිරිසිදු ගොඩනැගිලි. තණකොල වැවුණු පාරවල්.  වහපු වහපු තැන්වල ඉන්න කුරුල්ලෝ පරෙවියො. කැලෙන් නගරයට ආ මුව ගෝන රංචු නගරයේ වීදි දිගේ පැන පැන දිවයමින්.  උන් පසුපසින් හඹා යන කොටියො, සිංහයො. අවන්හල්, විශාල ගොඩනැගිලි ඇතුළු මුළු නගරයම වල් බිහිවුණු වනයක් වෙලා. පාලු, මූසල, නිහැඩියාබර, හිස් නගරයේ ගොඩනැගිලි සියල්ලට ඉහළ ඉඳන් දුර රූපයක් පහළ දසුනක් වෙත කැමරාව ගෙනියනවා. ඒ, නගරය මැදින් ඉදිරියට මෝටර් රථයක් ඇදෙනවා.

පාලුවුණු මුළු නගරයේ සිටින එකම මිනිසා තමන් සහ ඔහුගේ බල්ලා විතරයි කියල වීදි දිගේ වේගයෙන් මෝටර් රථය පදවන රොබට් නෙවිල් හිතනව. ඔහු විද්‍යාඥයෙක්. වසංගතයට එදිරිව බෙහෙතක් වෙනුවෙන් ඔහු නගරයේ නැවතී හිදිමින් පර්යේෂණ කරන්න පටන්ගන්නවා.

වනන්තරවල වගුරුවල වැවෙන, ඒත් මේවෙද්දි පාරවල් පුරා පවා වැවුණු උස් තණපදුරු අතරින් තුවක්කුවක් අතැතිව වේගෙන් දිවයන ඔහු බල්ලත් එක්ක එකතුවෙලා හුදකලා නගරයේ තනියම ගෝනුන් දඩයම් කරනවා.

‍ඒත්, නෙවිල්ට අමතරව තවත් පිරිසක් නගරයේ සැඟවී ඉන්න බව කතාව මැදකට යද්දි අපිට පේනවා. චිත්‍රපටය බලන්නට ඉඩ දී ඒ කවුද කියන දේ සගවන්නම්.

වයිරසයට අසුනොවී, සොම්බියෙක් නොවී බේරෙන්න යනගමනෙදි මිනිස්සුන්ට මිනිස්සු අහිමි වෙනහැටි, ඔවුන් මියයනවා බලන් ඉන්න සිදුවෙන හැටි, තමන්ටම ඔවුන්ව මරාදමන්න වෙනහැටි, පෙන්වන මේ චිත්‍රපටය භීතිය ගෙන එන නිර්මාණයක් වුණත්, මේ පසුබිම කොරෝනා වසංගතයට ලක්වුණු නූතන ලෝකයට අමුතුවෙන්වටහා දියයුතු නැහැ.

‘මිනිස්සු නැතිව, සත්තු ඉන්න ලෝකයක් විතරක් තිබුණොත් ලෝකෙ කොතරම් ලස්සනද’ වැනි වැකි පිරුණු පින්තූර මුහුණුපොත් පුරා සැරිසැරුවට ඇත්තටම එවැන්නක් වුණාම තත්වය කොයිවගේද? තමන් කරන කියන දේවල් ගැන සමාජයෙන් ප්‍රතිචාරයක් නොලැබෙන තත්වයක් උදාවුණොත් මිනිස්සු මොන විදියට හැසිරේවිද? ප්‍රතිචාරයක් වෙනුවෙන් නොවී ඉන් එහා අරමුණක් වෙනුවෙන් තනි මිනිහෙක් ජීවත් වෙන්නෙ කොහොමද? එහෙම ඉන්න හැමෝම ලෙජන්ඩ්ලද කියල බලාගන්න වුවමනා නම් ඔබට “අයි ඈම් ද ලෙජන්ඩ්” නරඹන්න පුලුවන්.

අපි එළබෙමින් සිටින අනාගතයත් ඇතැම්විට මෙය වියහැකියි.

සිනමාපටය – I Am Legend (2007)
අධ්‍යක්ෂණය: Francis Lawrence

: ඩිල්ෂානි චතුරිකා දාබරේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි