×

සඳ මත ජලය ඇත – ඒ බවට සැක නැත !

චන්ද්‍රයා මත ජලය සුවිශේෂී ප්‍රමාණවලින් තිබෙන බවට එදා මෙදාතුර වැදගත්ම සාක්ෂිය දැන් විද්‍යාඥයන් අතට ලැබී තිබේ.


පෘථිවියේ එකම උපග්‍රහයා වන චන්ද්‍රයාට, හිරු කිරණවලින් යන්තම්වත් මුවා වන්නට වායුගෝලයක් ද නැත. එනිසා 1990 දශකයේ මුල පටන්ම සිතුවේ සඳ මතුපිට වියළි බව ය. නමුත් පහසුවෙන් පිවිසිය නොහැකි චන්ද්‍ර ධ්‍රැවයන් තුළ අයිස් කුට්ටි තිබෙන බව 90 දශකයේදී කක්ෂගත යානාවක් විසින් සොයාගත්තේය. එය ඇස් අදහාගත නොහැකි තත්වයක් විය.

අයිස් යනු ජල අණුව හෙවත් H2O හිම ඝනීකෘත අවස්ථාවයි. ඒ නිසා ඝන තත්වයෙන් වුවත් ජල අණුව කොතැනක හෝ තිබෙනවා නම් එහි අර්ථය එතැන ජීවයක් තිබෙන බවයි. ජලය ජීවයේ උපත යැයි කියන්නේ නිකමට නොවේ.

මේ අතරේ 2009 වසරේදී ඉන්දියාවෙන් සඳට යැවුණු චන්ද්‍රයාන්-1 යානයේ සවිකර තිබූ ස්පෙක්ට්‍රොමීටර හෙවත් වර්ණාවලිමීටර අමුතු දෙයක් වාර්තා කළේය. ඒ, චන්‍ද්‍රයාගේ මතුපිට තිබෙන, ජලය වැනි දෙයක් මත වැදී ආලෝකය පරාවර්තනය වන ආකාරයයි. නමුත් තාක්ෂණික සීමාවන් නිසා, ඒ ජලයමදැයි තහවුරු කර ගැනීමට හැකි වුණේ නැත. අවම වශයෙන් ඒ ලවණවල සංයුතික OH- අණුව ද යන්න පවා දැනගත හැකි වුණේ නැත.

නමුත් දැන් මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලැබී තිබේ. නාසා ආයතනයේ මේරිලන්ඩ් හි පිහිටා තිබෙන ගොඩාඩ් අජටාකාශ පියාසැරි මධ්‍යස්ථානය (Nasa’s ASA Goddard Space Flight Center) විසින් නිසැක වශයෙන්ම H2O හෙවත් ජල අණු චන්ද්‍රයා මතුපිට තිබෙන බව සොයාගෙන ඇත. ඒ, චන්ද්‍ර මතුපිටින් පරාවර්තනය වන හිරු කිරණවල (පරාවර්තිත කිරණයේ) තරංග ආයාමයන් (තරංගයේ ශීර්ෂ දෙකක් අතර දුර) මැනීම මගිනි. එයට අදාළ දත්ත ‘සොෆියා‘යන කෙටි නමින් හඳුන්වන Stratospheric Observatory for Infrared Astronomy (Sofia) නිරීක්ෂකය විසින් රැස් කර ගනු ලැබිණි. මෙම නිරීක්ෂකය ඇත්තෙන්ම, මීටර 2.7 ක් දිගැති පරාවර්තන දුරේක්ෂයක් රැගත් විකරණය කළ බෝයිං 747 යානාවකි.

මේ තිබෙන ජල අණුවල සුලබතාවය ගැන ද දැන් විද්‍යාඥයන් සතුව සාක්ෂි තිබේ. ඒ අනුව සඳේ දකුණු ධ්‍රැවයේ උස් ප්‍රදේශවල ජල අණු පවතින්නේ H2O මිලියනයකට කොටස් 100-400 අතර ප්‍රමාණයකිනි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ගිනිකඳුවල ලාවා ආශ්‍රිතව, සුදුසු උෂ්ණත්වය ලැබීම නිසා මෙම ජල අණු බිහිවන්නට ඇති බවයි.

අනාගතයේදී බොන්නත් පුළුවන් !

මෙසේ සඳ මතුපිට ජලය තිබෙන බව තහවුරු වීම අනාගත චන්ද්‍ර මෙහෙයුම්වලට තීරණාත්මක බලපෑමක් සිදුකරනු ඇත. උදාහරණයක් වශයෙන් මෙම ජල අණු, සැකීම හරහා ඒවා පානීය ජලය බවට පත් කරගන්නට පුළුවන. ජල අණු, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් බවට බිඳීම මගින් එම පරමාණු රොකට් ප්‍රචාලනය සඳහා ඉන්ධන ලෙස ද යොදාගන්නට පුළුවන. ඔක්සිජන් හුස්ම ගැනීමට යොදාගන්නට පුළුවන. ‘‘අජටාකාශයේදී ජලය කියන්නේ හරිම මිල අධික පාරිභෝගික භාණ්ඩයක්..‘‘ එසේ කියන්නේ ග්‍රහලෝක විද්‍යාව සහ ගවේෂණය පිළිබඳ මහාචාර්ය මහේෂ් ආනන්ද් ය.

අඳුරු ගැඹුරු ආවාට තුළ

කෙසේ නමුත් මේ ජල අණු, සඳේ දක්ෂිණ ධ්‍රැවයේ අඳුරු ගැඹුරු ආවාට තුළින් නිස්සාරණය කර ගැනීම සරල පහසු කාර්යයක් නොවේ. ඒවා පවතින්නේ සෙල්සියස් අංශක සෘණ 230 ක ඉතා දැඩි ශීතලක ය. එනම් හිම මිදෙන උෂ්ණත්වය මෙන් 230 වාරයක් ශීතල තත්වයක ය. මෙවැනි තත්වයක් තුළ පවතින අයිස්වලටත් වඩා ශීතල ජල අණු, පහසුවෙන් ස්වභාවිකව ම වියැකී යනු ඇත. නමුත් මෙහිදී විද්‍යාඥයන් මේ ගැන දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින්නේ මෙම ජල අණු විශාල සුලබතාවයකින් පවතින නිසා ය.

‘චන්ද්‍ර වීදුරු‘ – lunar “glass”

මේ අතර, මෙම ජලය පවතින්නේ කුමන ඝන තත්වයකින් ද යන්න ද තවම පැහැදිලි නැත. ඇතැම් මතයකට අනුව චන්ද්‍ර ‘වීදුරු‘ තුළ ඒවා සිරවී තිබෙනවා වෙන්නට පුළුවන. චන්ද්‍ර වීදුරු හෙවත් lunar “glass” බිහි වන්නේ චන්ද්‍රයා මතුපිටට උල්කාපාත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස ය. මෙයට අමතරව කුඩා අයිස් පළිඟු ද චන්ද්‍රයාගේ පස සහ වැලි කැට අතර තිබේ. ඒ අයිස් පළිඟු වලින් ජල අණු නිස්සාරණය කර ගැනීම වඩාත් පහසු වනු ඇත. තවද මෙම ජල මූලාශ්‍ර තිබෙන්නේ පසේ සිට කොතරම් ගැඹුරින් ද යන්න ද සොයාගත යුතුය.

වසර 2024 දී ජලය සොයා හඳට!

පෘථිවියේ දුරේක්ෂ සහ නිරීක්ෂණාගාර හරහා ලබාගත හැකි උපරිම දත්ත ප්‍රමාණය ලබාගැනීමෙන් පසුව දැන් කළ හැකිව තිබෙන හොඳම දෙය සහ පහසුම දෙය, සඳ මතුපිටට ගොස් මේ ගැන සොයා බැලීමයි. එනම් සඳට ගොස් කැණීම් ආරම්භ කිරීමයි. මෙය ද නුදුරේ සිදුවීමට නියමිත ය. නාසා ආයතනයේ ආටිමීස් මෙහෙයුම (Nasa’s Artemis mission) නිර්මාණය වන්නේ ඒ වෙනුවෙනි. ඒ අනුව වසර 2024 දී අජටාකාශගාමියෙකු සහ අජටාකාශ ගාමිනියක සඳ වෙත යැවීමට සැලසුම් කරමින් තිබේ.

2020 ඔක්තෝබරයේදී ඇමරිකාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 8 ක් එකතු වී ආටිමීස් ගිවිසුම අත්සන් කර තිබෙන්නේ ද මෙවැනි දෙයට මග පාදා ගනිමිනි.

මේ අතර බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ සඳ මතුපිට කැණිය හැකි රොබෝ යන්ත්‍රයක් සාදමින් සිටිති. එය වසර 2025 දී සඳ වෙත ගෙන යනු ඇත්තේ රුසියානු චන්ද්‍ර මෙහෙයුමක් මගිනි.

සඳ මතුපිටින් වර්ග කිලෝමීටර 40,000 ක වපසරියක් මේ අනුව ගවේෂණය කෙරෙනු ඇත. මෙය චන්ද්‍රයාගේ මතුපිට වර්ගඵලයෙන් 0.15% කි.

‘‘නමුත් අපි බලාපොරොත්තු අත් හැර ගන්නේ නැහැ. බිලියන ගණන් ජල සංචිත සඳේ තිබෙන බව අපට විශ්වාසයි‘‘

යැයි විද්‍යාඥයෝ අපේක්ෂා සහගත ව පවසති.

Photo: A view of the moon from Cannes, southern France, in May 2019. ‘Water is a very expensive commodity in space,’ says one expert. Photograph: Laurent Emmanuel/AFP/Getty

ලන්ඩන් ගාඩියන් පුවත් සේවයේ පළ වූ Water exists on the moon, scientists confirm ලිපිය ඇසුරෙනි.

පසු සටහන – පෘථිවියේ ජල සම්පත විනාශ කරන මිනිසා, ජලය සොයා සඳට යාම දෛවයේ සරදමක් යැයි ද කියන්නට පුළුවන!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි