×

සය වසරකට පසු ඉරාන දම්වැල් බිඳගෙන එළියට එන ආදරණීය අම්මා – නසානින් සගාරි

නසානින් ගේ දියණිය ගැබ්‍රියෙල් ට දැන් වයස අවුරුදු 8ක්. නසානින් අත්අඩංගුවට පත්වන විට ඈ යම්තම් බිළින්දියක්. මවගේ උණුසුම කුඩාකලදීම ගැබ්‍රියල් ට අහිමි වුනත්, වෘක ධේනුවක් මෙන් සටන අත්නොහැරි තම මව නසානින් පිළිබඳව ආඩම්බරයෙන් කතාකිරීමට ඈට මතුදිනක හැකිවනු ඇත.


ඊයේ (16) දින අපූරු පුවතක් වාර්තා වුනා. වසර 06 ක කාලයක් පමණ ඉරානයේ සිරගත වී සිටි නසානින් සගාරි රැට්ක්ලිෆ් නම් කාන්තාව නිදහස් වී නැවත එක්සත් රාජධානිය වෙත පියාසර කරන පුවත බ්‍රිතාන්‍යයේ උණුසුම් පුවත් සිරස්තලයක් බවට පත්ව තිබුණා.

නසානින් ගැන ගොඩදෙනෙකුට දැන් මතක නෑ. නසානින් යනු කවුද? ඇය සිරගත වුනේ ඇයි? ඇය නිදහස් වීම සිරස්තල මැවීමට තරම් වැදගත් පුවතක් ද? කොහෙන්ද මේ නසානින් මතුවුනේ?

ඉතාම පහත් දේශපාලන ක්‍රීඩාවක වින්දිතයකු වශයෙන් දරු පැටියෙකුත් ඇකයෙහි තබාගෙන තනිවම සටන් වැද යුක්තිය ඉටුකර ගත් වීර මාතාවක ලෙස නසානින් ගේ කතාන්දරය හඳුන්වන්න පුළුවන්.

2016 වර්ෂයේ අප්‍රේල් මස ඉරාන රජය විසින් ඈ අත්අඩංගුවට ගන්නේ ඉරාන රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකළ බවට චෝදනා නඟමින්. එහෙත් ඇත්තටම සිදුවූයේ එය ද?

නසානින් ගේ කතාව

නසානින් බ්‍රිතාන්‍ය-ඉරාන සම්භවයක් සහිත කාන්තාවක්. ඈ විවාහ වී සිටියේ ලන්ඩනයේ රිචර්ඩ් රැට්ක්ලිෆ් නම් ගණකාධිකාරවරයා සමඟ. දෙපළට දාව සිඟිති දියණියක ද සිටියා. බීබීසී මීඩියා ඇක්ෂන් ජාත්‍යන්තර පුණ්‍යායතනයේ සේවය කළ නසානින් පසුකළෙක තොම්සන් රොයිටර් පදනමේ ව්‍යාපෘති කළමනාකරිනියක ලෙස සේවය කළා.

2016 වර්ෂයේ දී තම දියණිය ද සමඟ ඉරානයේ අලුත් අවුරුද්ද සැමරීමට සහ ඉරානයේ සිටි තම දෙමාපියන් බැලීමට යන නසානින් එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලබනවා. ඉරාන බලධාරීන් චෝදනා කළේ, නසානින් ඉරාන රජය පෙරළීමට කුමන්ත්‍රණය කරන බවයි. ඈට එරෙහිව ගොනුවූ චෝදනාව වූයේ විදේශීය සම්බන්ධිත සතුරු ජාලයකට නායකත්වය සැපයීමයි.

නසානින් ට මෙය හතර බීරි කතාවක් වූවා. එවිට බිළින්දියක වූ තම දියණිය ද සමඟ නසානින් ඉරානයට පැමිණියේ තම දෙමාපියන් හමුවීමටයි. ඈ අත්අඩංගුවට පත්වූ පුවත සමඟ ඈ සේවය කළ තෝමස් රොයිටර් පදනම සහ බීබීසී මීඩියා ඇක්ෂන් යන සංවිධාන දෙකම නිවේදන නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ඈ ඉරානයේ සේවය නොකළ බවත්, නිවාඩුවක් සඳහා ඉරානයට පැමිණි ඇති බවත් ය.

මෙම අභූත චෝදනාව මධ්‍යයේ සිරගත වන නසානින්ට පෙරෝල් (දැඩි සීමාවන්ට යටත්ව නිදහස ලැබීම) ලැබෙන්නේ ටෙහෙරානයේ පිහිටි ඇගේ දෙමාපියන්ගේ නිවසේ සිටීමටයි. ඉකුත් 2021 අප්‍රේල් වන විට ඇගේ පෙරෝල් අවසාන වන අතර, ඇගේ සිරදඬුවම තවත් වසරකට දීර්ඝ කර වසරක සංචාරක තහනමක් ද පැනවීමට ඉරාන රජයට කටයුතු කරනවා. මේ සියල්ල සිදුවන්නේ ඉරාන රජයට විරුද්ධව කුමන්ත්‍රණය කළ බවට චෝදනා නඟමින්. මේ සම්බන්ධයෙන් නසානින් ඉදිරිපත් කළ අභියාචනයක් ද ප්‍රතික්ෂේප වනවා.

කුමන්ත්‍රණ කතාව කොහෙන්ද ආවේ? එය බ්‍රිතාන්‍ය රජයේ ම සැලැස්මක් ද?

නසානින් අත්අඩංගුවට පත්වීම යුරෝපය තුළ බොහෝ පාර්ශවයන්ගේ අප්‍රසාදයට හේතුවුනා. නසානින් නිදහස් කර ගැනීමට බ්‍රිතාන්‍ය රජයේ විදේශ ලේකම් කාර්යාල වලින් ගත් බොහෝ උත්සාහයන් ව්‍යර්ත වුනා. නසානින් වගේම නසානින් අත්අඩංගුවට පත්වීම පිටුපස තිබෙන නොකී කතාව ද දැන් බොහෝ දෙනෙකුට අමතක වී ගිහින්.

නසානින් සිරභාරයට ගැනීම පිටුපස වැඩිය කතාබහට ලක්නොවුනු දුගඳ හමන දේශපාලන කරුණක් තිබෙනවා.

70 දශකයේ ඉරානයේ ඉස්ලාම් විප්ලවය සිදුවූ සමයේ එවකට ඉරානය පාලනය කළ බටහිර ගැති රජු ෂා පවුම් මිලියන හයසිය ගණනක් වටිනා ගනුදෙනුවකට යුධ ටැංකි 1,500 ක් සහ සන්නද්ධ ප්‍රතිසාධන වාහන 250 ක් බ්‍රිතාන්‍ය රජයෙන් ඇණවුම් කර තිබුණා. මීට අදාළ මුදල් ගෙවා තිබුණේ එවකට ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධිත පෞද්ගලික සමාගමක් වූ ඉන්ටර්නැෂනල් මිලිටරි සර්විසස් (IMS) වෙතයි.

70 දශකය අවසන් වීමත් සමඟ මෙම ෂා රජු බලයෙන් පහ වන අතර, අදාළ ඇණවුමෙන් ඉරාන බලධාරීන්ට ලැබෙන්නේ යුධ ටැංකි 185 ක් පමණයි. ඒ අනුව, තවත් පවුම් මිලියන හාරසිය ගණනක් වටිනා ලබා නොදුන් ටැංකි සඳහා මුදල් බ්‍රිතාන්‍ය රජයෙන් නැවත ලබා ගැනීමේ වෑයමක ඉරාන රජය පසුවූවා.‍

නසානින් ගේ ස්වාමිපුරුෂයා රිචර්ඩ් මේ බව මාධ්‍යයට හෙළිකලා. ඔහු පවසා සිටියේ මෙම මුදල් ආරවුල සමථයකට පත්කර ගැනීමට බ්‍රිතාන්‍ය රජයට බලකිරීම සඳහා ඈ ව රඳවාගෙන සිටින බවට නසානින් තමාට පැවසූ බවයි. සිරගත කර තිබූ කාලසීමාව තුළ තම දියණිය දැකගැනීමටවත් හැකියාවක් නොතිබුණු නසානින්ට සිදුවූ අසාධාරණය ලොවට කියාපෑමට ඇගේ ස්වාමිපුරුෂයා රිචර්ඩ් මහඟු කාර්යභාරයක් සිදුකළා.

නසානින් සිරභාරයට ගත් කළ තේරේසා මේ යටතේ පැවති බ්‍රිතාන්‍ය රජයේ විදේශ කටයුතු රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කළේ වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ය. අවලංගු කළ ඇණුවුමට අදාළ පවුම් මිලියන හාරසිය ගණනක ගනුදෙනුව සමතයකට පත්කිරීමට බ්‍රිතාන්‍ය රජයට හැකියාව තිබිණි. මෙම ගනුදෙනුවට අදාළව ප්‍රාණ ඇපයට තබාගත් නසානින් මුදවා ගැනීමට පවා බොරිස් ජොන්සන් ට එවකට හැකියාව තිබිණි. නමුත් එවන් දෙයක් සිදුවූයේ නැහැ.

ඒ අනුව දෙරට අතර බල අරගලයේ වින්දිතයකු බවට එවකට කිරිබොන බිළින්දියකගේ මව වූ නසානින් පත්වනවා.

වෘක ධේනුවක් මෙන් නසානින් තනිවම කළ සටන

නසානින් සිරගත කළ 2016 මුල් සමයේ ඈ බරපතල වැරදිවලට පුද්ගලයන් තබන හුදකලා සිරභාරයේ (solitary confinement) පවා තැබීමට ලක්වනවා. මාස දෙකක කාලයක් හුදකලා සිරභාරයේ තබන නසානින් එතැන් පටන් ටෙහෙරාන අධිකරණය නියම කළ පරිදි වසර පහක සිරදඬුවමකට යටත් වනවා. 2017 වර්ෂයේදී ඈ ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණයට අයදුම් කරන පළමු අභියාචනය ප්‍රතික්ෂේප වනවා. මෙසේ වසරකට අධික කාලයක් තම බිළිඳු දියණියගෙන් වෙන්කෙරෙන නසානින්ට 2018 වර්ෂයේදී තාවකාලික පදනමක් යටතේ සිය දියණිය සමඟ යළි මුණ ගැසීමට අවස්ථාව ලැබෙනවා.

පෙරෝල් ලැබෙන නසානින් 2019 වර්ෂයේදී ඇගේ සිඟිති දියණිය සමඟ අවස්ථා කිහිපයකදී ම මහමඟ නිරාහරව වැඩවර්ජන සිදුකරනවා. ඒ ඈට වෛද්‍ය උපකාර නොලැබෙන බව පවසමින් හා නිදහස ඉල්ලමින්. ඇගේ මේ තනි සටනට විශාල සහයෝගයක් ජනතාවගෙන් ද ලැබෙනවා.

කොවිඩ් වසංගතය සමයේ පෙරෝල් ගත කිරීමට සිය දෙමාපියන්ගේ නිවසට යවන නසානින් නත්තල් සමයේ පවා සිය සිඟිති දියණිය සමඟ යුක්තිය ඉල්ලා අරගල කරනවා. 2020 නැවත වරක් අධිකරණයට ඉදිරිපත් කරන නසානින් ගේ සිරදඬුවම 2021 අප්‍රේල් මස යළි වසරකට දීර්ඝ කරනවා. එම වර්ෂයේම ඔක්තෝබරයේ නසානින් ඉදිරිපත් කරන දෙවන අභියාචනය ද ප්‍රතික්ෂේප වනවා.

මෙසේ වසර 06 ක අඛණ්ඩ අරගලයක නිරත වන නසානින් ට මෙම වර්ෂයේ මාර්තු මස 16 වන දින, එනම් ඊයේ දින නිදහස ලැබෙනවා. ඒ අනුව නසානින් ගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රය ද යළි මුදා හැර තිබෙන අතර, මේ වන විට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය විසින් ද නසානින්ගේ පැමිණීම තහවුරු කර තිබෙනවා. නසානින් මුදා හැරීමට සමඟාමීව ඉරානය විසින් රඳවාගෙන සිටි තවත් ද්විත්ව ජාතිකත්වය හිමි බ්‍රිතාන්‍ය-ඉරාන විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවකු ද මුදා හැර තිබෙනවා. ඔහු ද නසානින් සමඟ එම ගුවන්යානයේ ම බ්‍රිතාන්‍ය බලා ගමන් කරන බවයි වාර්තා වන්නේ. එමෙන්ම, තවත් ද්විත්ව ජාතිකයකු මුදා හැර තිබෙන මුත් ඔහු ඉරානයේම රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

නසානින් නිසා ඉරාන – බ්‍රිතාන්‍ය ගනුදෙනුවත් සමතයකට පත්වෙලා!

නසානින් ගේ නිදහස් වීම පිළිබඳ නිවේදනය කරමින් වත්මන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලිස් ටෘස් පවසා සිටියේ ඉරාන – බ්‍රිතාන්‍ය ගනුදෙනුවට අදාළ මුදල් යළි ඉරානය ට ලබා දීමට පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය කටයුතු කළ බවත්, එක්සත් රාජධානිය සහ ජාත්‍යන්තර සම්බාධක සහ සියලුම නීතිමය බැඳීම්වලට යටත්ව මෙම පියවීම සිදුකළ බවත් ය. ගතවූ මාස කිහිපය තුළ ඉරානය සමඟත්, ගල්ෆ් රාජ්‍යයක් වන ඕමානයේ සහාය ඇතිවත් මීට අදාළ සාකච්ඡා පැවැත්වුණු බව ද ඈ පවසා සිටියා.

නසානින් ගේ දියණිය ගැබ්‍රියෙල් ට දැන් වයස අවුරුදු 8ක්. නසානින් අත්අඩංගුවට පත්වන විට ඈ යම්තම් බිළින්දියක්. මවගේ උණුසුම කුඩාකලදීම ගැබ්‍රියල් ට අහිමි වුනත්, වෘක ධේනුවක් මෙන් සටන අත්නොහැරි තම මව නසානින් පිළිබඳව ආඩම්බරයෙන් කතාකිරීමට ඈට මතුදිනක හැකිවනු ඇත.

ප්‍රමෝද් චින්තක පීරිස්

ඡායාරූප: ගෙටී ඉමේජස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි