×

හිරෝෂිමා ඛේදවාචකයට අදට වසර 78යි

ලෝක ඉතිහාසයේ ම්ලේච්ඡතම මානව සංහාරය ලෙස සැලකන්නේ හිරෝෂිමාවට පළමු න්‍යෂ්ටික බෝම්බය හෙළීමේ 78වන සංවත්සරය දිනය අදට යෙදී තිබේ.


ලෝක ඉතිහාසයේ ම්ලේච්ඡතම මානව සංහාරය ලෙස සැලකන්නේ හිරෝෂිමාවට පළමු න්‍යෂ්ටික බෝම්බය හෙළීමේ 78වන සංවත්සරය දිනය අදට යෙදී තිබේ.

දෙවන ලෝක යුධ සමයේ දී ජර්මනිය රුසියාව ආක්‍රමණයෙන් පසු ලැබූ අන්ත පරාජයත් සමඟ ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවලට බලවත් තර්ජනයක් වූයේ ජපානයයි. ජපානය ඒ වන විට එක්සත් ජනපදයේ පර්ල් වරායට එල්ල කරන ලද ප්‍රහාරයත් නැන්ජින් සංහාරය හෙවත් අහිංසක චීන දරුවන්, කාන්තාවන් ඉතාමත් ම්ලේච්ඡ ලෙස දූෂණය කල, අහිංසක ජනතාව ලක්ෂ ගණනක් සමූල ඝාතනයට ලක්වුනු සිදුවීම් දාමයත් හේතුවෙන් මිත්‍ර හමුදාව හා සෝවියට් හමුදාව අතර අප්‍රසාදයට පත්ව තිබිණි. මෙවැනි තත්වයක් තුළ ජපානයට අවනත වන ලෙස කරන ලද යෝජනා සියල්ල හිරෝහිතෝ අධිරාජ්‍යා ප්‍රතික්ෂප කළ අතර අවසන් ජපන් යුධ භටයා දක්වා සටන් කරන බවට ඔහු දිවුරා සිටින ලදි.

මේ නිසා ජපානය මෙල්ල කල හැකි පහසු මෙන්ම වේගවත් ක්‍රමයක් පිලිබදව ඇමරිකානු බුද්ධි අංශ හා යුධ කමිටුවේ අවධානය යොමු වූ අතර ඒ අනුව යමින් පරමානුක ආයුධ සංවර්ධන වැඩසටහනක් දියත් කළ අතර එය මෑන්හැටන් ව්‍යාපෘතියයි (Manhattan Project)නමින් හැඳින්විණි. මෑන්හැටන් ව්‍යාපෘතිය හා ඒහා බැදුනු ව්‍යාපෘති සමූහයක් ඔස්සේ එක්සත් ජනපදය පරමාණුක බලගැන්වීම් පිලිබදව පර්‍යේෂණ ගණනාවක් සිදුකල අතර පරමාණු බෝම්බයක් නිර්මාණය කිරීම සදහා මූලික වැඩපිලිවෙලක් සකස් කරන්නට විය. ප්ලූටෝනියම් බෝම්බයක් පිළිබඳ පළමු සාර්ථක පරීක්ෂණය සාර්ථක වීමත් සමඟ යුද්ධයේ ඉක්මන් අවසානයක් සියලු දෙනා අපේක්ෂා කළ හෙයින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජේම්ස් බර්න්ස් (James Francis Byrnes) පරමාණුක බෝම්බයක් මගින් මෙහි අවසානයක් දැකීම පිලිබදව මුල් වරට යුධ කමිටුවට අදහස් පල කරන්නට විය.

1945 අගෝස්තු 6 වන දින හිරෝෂිමා වෙත ටොන් 20,000ක පුපුරන ද්‍රව්‍ය බලයකින් සමන්විත ලිට්ල් බෝයි නම් න්‍යෂ්ටික බෝම්බය හිරෝෂිමාවට ඉහළ අහසෙන් පතිත වූ අතර නගරය සමතලා කරමින් හටගත් විශාල පිපිරුමෙදී එකෙනෙහිම පුද්ගලයින් 80,000ක් මියගිය බව විශ්වාස කෙරේ. ඉන් පසු එළඹුණු දින, සති හා මාස ගණන තුළදී විකිරණ විෂ වීමෙන් හටගත් තුවාල හේතුවෙන් තවත් දස දහස් ගණනක් මිය ගියහ. එම ප්‍රහාරයෙන් වුවද ජපානයේ යටත්වීමක් නොදුටු තැන දින තුනකට පසු ‘ෆැට් මෑන්’ නමින් හැඳින්වුණු තවත් බෝම්බයක් කිලෝමීටර 420ක් පමණ දකුණින් වූ නාගසාකි වෙත හෙළිණි.

බෝම්බ ප්‍රහාර වලින් වසර 6කට පමණ පසුව මෙම නගර වල ලියුකේමියා රෝගන්ගේ සීඝ්‍ර වර්ධනයක් දකින්නට ලැබෙන අතර එය විකිරණවල බලපෑම හේතුවෙන් සිදු වන්නක් බව පසුව සොයා ගැණින. ජීවිතය ගලවා ගැනීමට සමත් වූ බොහෝ තරුණියන්ට දරුවන් නොමැති වූ අතර ගබ්සාවීම් බහුලව මෙම නගර වල වාර්තා විය. පරමාණු බෝම්බ වලින් නිකුත් වුනු විකිරණ වලට ගොදුරු වී පසුකාලීනව උපන් දරුවන් විශාල ප්‍රමාණයක් විවිධ ජාන විකෘති වීම් හා ආබාධයන්ට ලක්වුනු නිසා මෙහි විනාශයේ ප්‍රමාණය නිවැරදිව තක්සේරු කල නොහැක.

අද උදුසන 8.15ට හිරෝෂිමාවේ සාම උද්‍යානයෙහි ඝණ්ටා හැඬවුණේ ලොව පළමු න්‍යෂ්ටික බෝම්බය හෙළීමේ 78 වෙනි සංවත්සරය සැමරීමට ය.

මිය ගිය අය හා ඉන් විපතට පත් වූවන් වෙනුවෙන් මෙහිදී ශෝකය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් නියෝජිතයෙකුගේ මාර්ගයෙන් දැනවූයේ ලෝක නායකයින් මෙම නගරයට ගොස්, එහි ස්මාරක දැක, එහි නිර්භීත දිවි ගලවා ගත් අය සමඟ කතා කර, න්‍යෂ්ටික නිරායුධකරණය වෙනුවෙන් කටයුත් කළ යුතු බවයි. අවස්ථාව අමතමින් හිරෝෂිමා නගරාධිපති Kazumi Matsui ප්‍රකාශ කර තිබුණේ න්‍යෂ්ටික අවි අහෝසි කරන ලෙස ඉල්ලා සිටි අතර G7 නායකයින්ගේ න්‍යෂ්ටික නිරෝධනය පිළිබඳ අදහස අනුවන අදහසක් වන බවයි.

දෙවන ලෝක යුද්ධයේදී ජපානය සිදුකල විනාශය කිසිසේත් සාධාරණීකරණය කල නොහැකිවා මෙන් ම ජපානයට පරමාණු බෝම්බ හෙළමින් කරන ලද විනාශයද කිසි සේත්ම සාධාරණ නොවේ.

සශිකලා මධුෂාණී_

On 78th anniversary of atomic bomb,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි