×

කුඩ පවා තහනම් වූ ඕමානය සුරපුරයක් කළ සයිද් සුල්තාන්

මැද පෙරදිග වැඩිම කාලයක් රජකම් කළ පුද්ගලයා වශයෙන් ලෝක වාර්තා පොත්වලට එක්වෙමින් ඕමානයේ ක්වාබූස් බින් සයිද් සුල්තාන්වරයා ආන්ත්‍රික පිළිකාවක් හේතුවෙන් මිය ගියද, ඔහු දිවි හිමියෙන් කැප වී සිටියේ සිය රටේ පුරවැසියන්ගේ කුස පිරවීමට ය.


ඕමාන් සුල්තාන්වරයා රජ කමට පත්වූයේ 1970 වසරේදී ය. රජ මාළිගයේ සිදුකළ කුමන්ත්‍රණයක් හරහා ය.

ඔහු රජ කිරුළට පත් වන විට ඕමානය පැවතියේ අතිශය නොදියුණු, පසුගාමී තත්වයක ය. ඒ වන විට රටේ පැවතියේ පාසල් 3ක් පමණි. කිසිදු සංචාරක හෝටලක් රටේ තිබුණේ නැත. තවද විදුලිය, ගුවන් විදුලි පහසුකම්, රේඩියෝ පහසුකම් පමණක් නොව උපැස් සහ කුඩ පාවිච්චිය ද ඕමානයේ තහනම් වී තිබිණි.

නමුත් වසර 49 ක පාලන සමය තුළ ඔහු ඕමානය ප්‍රතිසංස්කරණ රැසකට බඳුන් කළේය. ඒ සඳහා ඔහු සිය බ්‍රිතාන්‍ය අධ්‍යාපනය පිටිවහලක් කර ගත්තේය.

ඒ අනුව ඕමානය ඉක්මනින්ම මැදපෙරදිග ප්‍රසන්න සංචාරක ගමනාන්තයක් බවට පත් වූ අතර, කුඩ පවා තහනම් ව තිබූ රට විශාල විපර්යාසයකට බඳුන් විය.

අවසානයේ අසල්වැසි රාජ්‍යයන් මිහිතලය විනාශ කරමින් තනිකරම තෙල් සම්පත මත සිය ආර්ථිකය ගොඩනගා ගනිද්දී ඕමාන ආර්ථිකයේ ගාමක බලවේග බවට පත්වූයේ සංචාරක කර්මාන්තය, රටඉඳි, මත්ස්‍ය සම්පත සහ කෘෂි සම්පත් ය. තල් සහ වායු අපනයනය විසින් සිදු කළේ ඒ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම පමණි.

මේ අතරම ඕමානය ‘ලෝකයේ හොඳින්ම පක්ෂීන් නැරඹිය හැකි පක්ෂි සුරපුරය‘ යන විරුදාවලිය ද ලැබීය. ඕමානය තුළ සියලුම නාම පුවරු අරාබි බසින් පමණක් නොව ඉංග්‍රීසි බසින් ද සවිකිරීම අනිවාර්ය විය.

ලෝකයේ හොඳම නෞකා තනන්නා වන්නේ ද ඕමානයයි.

ඕමානයේදී කිසිවෙකු ආදායම් බදු ගෙවන්නට අවශ්‍ය නැත. ශ්‍රමිකයන්ගේ වැටුපෙන් සුළු කොටසක් උපයන විට ගෙවීම් බදු වශයෙන් කපා ගන්නා අතර, එය ද යෙදවෙන්නේ සමාජ ආරක්ෂණය සහ සමාජ සුබසාධනය වෙනුවෙනි.

දේශපාලනික වශයෙන් ඔහු කළ වැදගත්ම මෙහෙය වූයේ රාජ්‍ය තාන්ත්‍රික සම්භාෂණයන් සඳහා ඕමානය සාකච්ඡා මේසයක් බවට පත් කිරීමයි. ඉරානයේ සහ යේමනයේ සිටි ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සිදුවීම්වලදී වැඩි කාර්යභාරයක් කවදත් ඉටු කළේ ඕමානයයි.

ඒ අතරම ඕමානය ත්‍රස්තවාදී උවදුරු ශුන්‍ය රටක් බවට ද පත්විය. Global Terrorism Index (GTI) හි එ් බව දැක්වේ.

අවිවාහකයෙකු වන අල් සයිද් සුල්තාන්වරයාට දරුවන් ද නැත. තවද ඔහු විසින් සිහසුනට උරුමක්කාරයෙකු ද නම් කර නැත. මෙය, ලේ වැකුණු අල් සයිද් පෙළපතේ සාමාන්‍ය පිළිවෙත නොවේ. මේ සියල්ලෙන්ම පෙන්වා දෙන්නේ මියගිය සුල්තාන්වරයා සැබෑ ලිබරල් අදහස් දැරූ වෙනස් මිනිසෙකු බවයි.

ඉරානයට තව අපලයක්ද?

කෙසේ නමුත් දැන් මේ සුල්තාන්වරයාගේ මරණය හේතුවෙන් අරාබි අර්ධද්වීපය තුළ නොසන්සුන්තාවයක් ඇති වී තිබේ. මේ මියගොස් සිටින්නේ බටහිර බලවේගයන් සමග මැදපෙරදිග සමතුලිත කළ දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

ඉරානයේ සැඟවුණු එදිරිවාදිකම් සහ බටහිර විරෝධය කදිමට වටහාගෙන සිටි සුල්තාන්වරයා, මැදපරදිග සාම කතා මධ්‍යස්ථානය බවට ඕමානය පත් කිරීමට බොහෝ වෙහෙස දැරීය. ඉරානය සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යහපත් කිරීමට සිය ජීවිත කාලය පුරාම වෙර දැරූ ඔහු, දැන් මෙසේ දිවි හැර යන්නේ, ඉරාන-ඇමරිකා සබඳතා පිළිසකර කළ නොහැකි ලෙස පළුදු වී ඇති අවස්ථාවදීම වීම දෛවයේ සරදමකි.

ඉරානයේ මැදපෙරදිග බලය නොරිස්සූ, ඉරානයේ සතුරන් සේ සැලකෙන සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග යහපත් සබඳතා ඇති කර ගැනීම ඕමාන් සුල්තාන්වරයාගේ අදිටන විය. මේ වන විට මේ රටවල් දෙකම, මැදපෙරදිග බලය තහවුරු කර ගැනීමේ තරගයක යෙදී සිටියි.

තිරයෙන් පිටුපස සිටි වීරයා

ඕමාන සුල්තාන්වරයා ප්‍රසිද්ධිය පසුපස හඹා ගිය චරිතයක් නොවේ. 2008 වසරේදී කුවේට් පුවත්පතකට දුර්ලභ ගණයේ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මෙසේ කියයි.

‘‘අපිට කිසිම යුද්ධයක් – අරගලයක් නැහැ. ඒ වගේම අපේ මතයන් සමග කවුරු හරි එකඟ වෙන්නේ නැතිනම් අපි ඒ ගින්නට පිදුරු දාන්නෙත් නැහැ..‘‘



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි