×

ට්‍රම්ප් බිලිපූජාව අරඹයි – දිනක් ඇතුළත ඇමරිකාවේ කළු ජාතිකයන් දෙදෙනෙකුට මරණ දඬුවම

‘‘දින දෙකක් ඇතුළත කළු ජාතිකයන් දෙදෙනෙක් මරණ දඬුවමට ලක් කර ඇත.. බයිඩන්ගේ පදවි ප්‍රාප්තියට පෙර තවත් කළු ජාතිකයන් මරණ දඬුවමට ලක්කරන්නට නියමිත ය‘‘


දෙවරක් කියවා බලන්නට සිදුවූ මෙම ශීර්ෂපාඨය යෙදී තිබුණේ CNN පුවත් සේවයේ පළ වූ ලිපියක ය.

අරුමයක් නැත. මේ වන විට ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි ආසන 538 පිරෙමින් තිබෙන්නේ ‘එක්සත් ජනපදයේ‘ (United States) නොව ‘බෙදුණු ජනපදයේ‘ (Devided State) ය. බයිඩන් හමුවේ තිබෙන්නේ සුළුපටු අභියෝගයක් නොවේ. ට්‍රම්ප්ට ඡන්දය දුන් මිලියන 74 ක් දෙනා ඇමරිකාවේ සිටිති. ඔවුන්ගෙන් බහුතරය ගෞරවනීය රිපබ්ලිකානුවන් නොවන බව මීට පෙර ද අප විසින් කියා තිබේ.

ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි ආසන පිරවීම දෙසැම්බර් 14 වැනිදා, එනම් ඊයේ දිනයේ ආරම්භ වුවත්, ඡන්ද ප්‍රතිඵලය අනුව බයිඩන් 306-232 ක් ලෙස විශිෂ්ට ලෙස ඉදිරියෙන් සිටියත් බයිඩන් ට දැන් සියල්ලටම පෙර බෙදුණු දේශයක් එක්සත් කරන්නට සිදුව තිබේ.

ප්‍රචණ්ඩත්වයට පෙට්‍රල් දැමීම

කිසිදු ආකරයකින් තමන් පැරදී ඇති බව නොතකන ට්‍රම්ප්, දැන් ප්‍රචණ්ඩත්වයට පෙට්‍රල් දමමින් සිටියි. ඔහු වෙනුවෙන් දහස් ගණනක් වීදි බැස සිටිති. ඒ අතර අහිංසක කළු ඇමරිකානුවෝ පරාජයෙන් කෝපාවිශ්ටව සිටින, සුදු ජාතිකත්වයෙන් හිස උදුම්මාගෙන සිටින, ජාතිවාදී උමතු ගොහොරුවේ ගිලී සිටින ට්‍රම්ප්වාදීන් විසින් මේ අවසාන දින කිහිපයේදී තමන් අතේ ඇති අවසාන තුරුම්පු කිහිපයත් සෙල්ලම් කරන ලෙසට ට්‍රම්ප්ට බල කර සිටියි.

(AP Photo/Ross D. Franklin)

ට්‍රම්ප්වාදී Proud Boys

ශිෂ්ට සම්පන්න ලෝකය කිසි ලෙසකින් අනුමත නොකරන මරණ දණ්ඩනයට පැය 24 ක් ඇතුළත කළු ජාතිකයන් දෙදෙනෙක් ලක් කරන්නේ මෙහිම දිගුවක් ලෙසට විය නොහැකිද?

මාරක එන්නත් විදීම මගින් මෙසේ ෆෙඩරල් අළුගෝසුවන් විසින් මරණ දණ්ඩනයට ලක් කරනු නොලැබුවේ නම්, බයිඩන් පැමිණ ඔවුන්ට සමාව දෙන්නටත් ඉඩ තිබුණේය. එනිසා ජනවාරි 20 වැනිදාට පෙර කරන දෙයක් කළ යුතුය. ඒ වනාහී ට්‍රම්ප් මානසිකත්වයයි.

මුලින් මරා දැමුණේ බ්‍රැන්ඩන් බර්නාඩ් ය. ඉන්පසු පැය 24 ක් ඉක්ම යාමටත් මත්තෙන් ඇල්ෆ්‍රඩ් බෝගුවස් මරා දැමිණි. බ්‍රැන්ඩන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන විට දේශපාලකයන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනා එයට එරෙහිව සමාජ ජාල ඔස්සේ මහත් සේ හඬ නැගුවහ. නමුත් එයම දෙවැනි මරණය ඉක්මන් කළාද…?

මෙම මරණ දණ්ඩනයන්, ට්‍රම්ප් පරිපාලනය විසින් අවසාන වශයෙන් ක්‍රියාවට නංවන දණ්ඩන ලැයිස්තුවේ මුල නම් දෙකයි. ට්‍රම්ප් ඕවල් කාර්යාලයේ ගත කළ අවසාන දින කිහිපය තුළදී අසාමාන්‍ය ලෙසට කළු ජාතිකයන් 4 දෙනෙකුව පෝරකයට යැවීම සඳහා ‘ජනාධිපති අත්සන‘ යෙදුවේය. ඇමරිකාවේ පෝරකය වන්නේ මාරක එන්නත් විදීම මගින් මරු කැඳවීමයි.

2020 වසර තුළදී ෆෙඩරල් අළුගෝසුවන් විසින් මේ අන්දමින් 10 දෙනෙකු මරණ දණ්ඩනයට ලක් කර ඇත. නීතිපති විලියම් බාර් (William Barr) ඇමරිකාව තුළ මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක කරන්නට තීරණය කළේ 2019 ජූලි මාසයේදී ය. එයට සිව් දෙසින් විරෝධය එල්ල වෙද්දී ට්‍රම්ප්ටම ගැළපෙන ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මෙසේ කීවේය.

‘‘2019 දෙසැම්බර් සිට මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට අධිකරණ දෙපාර්තමේන්තුව අදහස් කළේය. නමුත් එය ප්‍රමාද විය. ශ්‍රේෂ්ඨාධිකරණය මරණ දණ්ඩනයට අනුමැතිය ලබාදුන් වහාම, එනම් 2020 ජූලි මස පටන් එය නැවත ක්‍රියාත්මක ය.‘‘

ඇමරිකාව විසින් දශක 2 කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඇරඹුවේ එසේ ය.

මැතිවරණ පරාජයෙන් පසුව කළු ජාතිකයන් පස් දෙනෙක් පෝරකයට

2020 ගිම්හාන සමය තුළ සුදු ජාතිකයන් 6 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇතත්, විචාරකයන් පෙන්වා දෙන පරිදි 2020 නොවැම්බර් මැතිවරණයෙන් පසු මෙහි රිද්මය සමානුපාතික නොවන පරිදි වෙනස් වී ඇත. එනම්, නොවැම්බර් සිට මේ දක්වා මාස 2 කටත් අඩු කාලයක් තුළ කළු ජාතිකයන්ම පස් දෙනෙක් මරණ දඬුවම ලබා ඇත.

වසර 70 ක ඉතිහාසය තුළ මරා දැමුණු වයසින් අඩුම පුද්ගලයා

This August 2016 photo provided by the Federal Public Defender for the Western District of Washington shows Brandon Bernard.  (Stacey Brownstein/Federal Public Defender for the Western District of Washington via AP)

වසර 70 ක ඇමරිකානු ඉතිහාසය තුළ මරා දැමුණු වයසින් අඩුම පුද්ගලයා වන්නේ අප මුලින්ම කී බ්‍රැන්ඩන් බර්නාඩ් ය. ඔහුගේ වයස අවුරුදු 40 ක් පමණක් විය. ඔහුව මරා දමා තිබෙන්නේ ගැටවරයෙකු වශයෙන් සිටියදී කළ අපරාධයකට වීමත් විශේෂත්වයකි. ජනවාරි 20 වැනිදාට යෙදී තිබෙන බයිඩන්ගේ පදවි ප්‍රාප්ති දිනයට පෙර මරණ දණ්ඩනයට ලක් කරන්නට ලැයිස්තුගත කර තිබෙන 13 දෙනා අතර ඔහු ද විය. මේ 13 දෙනාව නම් කර තිබෙන්නේ නීතිපති බාර් විසින්, ට්‍රම්ප්ගේ පූර්ණ ආශිර්වාදය මැද බව අමතක නොකරන්න.

ඇමරිකාවේ මරණ දඬුවම සහ බිඳ වැටුණු යුක්තික පද්ධතිය

(Photo by Samuel Corum/Getty Images)

ඇමරිකාවේ මරණ දඬුවම් ඉතිහාසය තුළ සුදු ජාතිකයෙකු මරා දැමීමේ වරදට කළු ජාතිකයන් 300 කට ආසන්න සංඛ්‍යාවකට මරණ දඬුවම ලබා දී තිබේ . නමුත් කළු ජාතිකයෙකු මරා දැමීමේ වරදට එසේ මරණයෙන් දඬුවම් ලබා තිබෙන්නේ සුදු ජාතිකයන් 21 දෙනෙකු පමණි. 1998 වසරේදී ඇමරිකාව මරණ දඬුවම දීම නතර කර දැමුවේය.

මේ බව හෙළි වූයේ 2020 සැප්තැම්බරයේදී ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ Death Penalty Information Center report මගිනි.

මේ අතර මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ දෝෂ සහගත නඩු විභාග යනාදිය නිසා නිවැරදිකරුවන් රැසක් ද ඇමරිකානු අධිකරණ ක්‍රමය තුළ පෝරකයට නියම වී තිබෙන බවයි. ඒ අනුව බලන විට ඇමරිකාවත් ලංකාව මෙන්ම ය. අපරාධකරුවන් නිදැල්ලේ සැරිසරන විට අහිංසකයන් හෝ වරදකාරී බවෙන් අඩු අය ඇතුළේ ය.

ඇමරිකාවේ යුක්තික පද්ධතිය අසාමාන්‍ය අයුරින් බිඳ වැටී ඇති බවට මීට වඩා සාක්ෂියක් අවශ්‍යද?

හැත්තෑ වසරක ඉතිහාසයේ පෝරකයට යන පළමු කාන්තාවත් නොබෝ දිනකින්

බයිඩන් ජනපති වීමට පෙර තවත් කළු ජාතිකයන් දෙදෙනෙක් වන කෝරේ ජොන්සන් සහ ඩස්ටින් හිග්ස් මරණ දණ්ඩනයට ලක් කිරීමට නියමිත ය. තවද ඇමරිකාවේ 70 වසරක ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් ද මරණ දණ්ඩනයට ලක් කිරීමට නියමිත ය. ඇය ලීසා මොන්ට්ගෝමරි නම් කාන්තාවකි.

ලීසා මොන්ට්ගෝමරි ගේ ඉතිහාසය සොයා බලන්න. ඇය දැඩි සේ අපයෝජනයන්ට ලක් වූ වින්දිතයෙකි. ලිංගික ජාවාරමේ ගොදුරකි. බයිපෝලා ඩිසෝඩර් තත්වයෙන් ද පෙළෙන බවට වෛද්‍යවරුන් විසින් නිගමනය කර ඇත. එයට අමතරව ඇය තවත් මානසික ගැටළුවලින් ද පීඩා විඳින්නීය. මෙවැනි අයෙක් මරා දැමීම මගින් සමාජයට දෙන පණිවුඩය කුමක් ද ?

ලීසා මොන්ට්ගෝමරි ද ජනවාරි 20 ට පෙර මරා දැමෙනු ඇත.

ශිෂ්ට සම්පන්න ලෝකය කිසිදු ලෙසකින් මරණ දඬුවම අනුමත නොකරන බව ට්‍රම්ප් පරිපාලනය සහමුලින්ම අමතක කළේ කෙසේද?

ට්‍රම්ප්ගේ බිලිපූජා නිසා වාර්තාවක්

මේ අළුගෝසු සහතිකය සමග ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගත වීම නම් සිදුව තිබේ. ඊයේ දිනයේ සිදුකළ බෝර්ගොයිස්ගේ මරණ දඬුවමත් සමග ට්‍රම්ප්, යුල්සෙස් එස්. ග්‍රාන්ට් ජනපතිවරයා (1873-1876)ගේ අළුගෝසු වාර්තාව සම කරයි. මේ දෙදෙනාම එක වර්ෂයක් තුළ ඉතිහාසයේ සිව්වැනියට වැඩිම මරණ දඬුවම් ප්‍රමාණයක් සිදුකළ ජනපතිවරුන් ය.

මරණ දඬුවම අහෝසි කරන බව ජනපති වීමට නියමිත ජෝ බයිඩන් කියා තිබේ. නමුත් ඔහුට මරණ දඬුවම අහෝසි කිරීමටත් වඩා බරපතළ කාර්යයක් පැවරී ඇත. ඒ, ට්‍රම්ප් වියරුවෙන් තවදුරටත් ඛාදනයට ලක් වූ ඇමරිකානු යුක්තික පද්ධතියෙන් සහ සමාජයෙන් ‘වෛරය අහෝසි කිරීම‘යි.

අන්තවාදය රජයන තැන්වල සහෝදරත්වය වැපිරීම කිසිවෙක් නොමළ ගෙයකින් අබ සොයාගැනීමක්ම වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි