×

FW ඩි ක්ලාක් ඔව්, ඔහු නෙල්සන් මැන්ඩෙලාට වඩා ශ්‍රේෂ්ඨයෙකි!

දකුණු අප්‍රිකාවේ අවසන් සුදු ජාතික ජනපතිවරයා වූ සහ නෙල්සන් මැන්ඩෙලා සමග එක්ව දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය අවසන් කිරීමට මැදිහත් වූ FW ඩි ක්ලාක්, 2021.11.11 දින දෑස් පියා ගත්තේය.


ඇවිස්සුණු, කුපිත වුණු සෙනගක් සමග විප්ලවයක් කිරීම, ධනය හා බලය සමග සියවස් ගණනක ළඟ නෑකමක් තිබූ සුදු ස්වෝත්තමවාදය හීලෑ කිරීමට වඩා පහසු විය හැකිය. එනයින් ගත් විට, FW ඩි ක්ලාක්, නෙල්සන් මැන්ඩෙලාට ද වඩා ශ්‍රේෂ්ඨයෙකු විය. ඩි ක්ලාක් නොවිණි නම්, නෙල්සන් මැන්ඩෙලා නාමය, රොබින් දූපත් සිර මැදිරිය තුළම වියැකී යන්නට ද ඉඩ තිබුණේය.

මරණ මංචකයේදී ද FW ඩි ක්ලාක්, නෙල්සන් මැන්ඩෙලා අබිබවා ගියේය. සිය මරණින් මතු ලෝකයට මුදා හැරීම පිණිස ඔහු වීඩියෝවක් පටිගත කර තිබුණේය. එහිදී කෘශ වූ සිරුරෙන් යුතු FW ඩි ක්ලාක් කියන්නේ කුමක්ද?

‘‘කිසි සුදුසුකමක් නැතිවම මා, දකුණු අප්‍රිකාවේ කළු, දුඹුරු සහ ඉන්දියානු ජාතිකයන්ට ඇපාතෙයිඩ් (‍වර්ණභේදවාදය) විසින් ඇතිකළ වේදනාව, රිදුම, අවමානය සහ හානියට සමාව ඉල්ලා සිටිනවා..‘‘

“I, without qualification, apologise for the pain and the hurt and the indignity and the damage that apartheid has done to black, brown and Indians in South Africa,”

වයස 85 දී මිය ගිය ෆ්‍රෙඩරික් විලෙම් හෙවත් FW ඩි ක්ලාක්, ‘ඇපාතෙයිඩ්‘ හෙවත් වර්ණ භේදවාදී නීතිය යටතේ පැවති දකුණු අප්‍රිකාවේ අවසන් නායකයා විය. ඇතැම්හු, සෝවියට් සමූහාණ්ඩුව බංකොළොත් බවේ ඉරණමට ගොදුරු කර එහි අභාවය සහතික කළ – අවසන් නායකයා වූ මිහායල් ගොර්බචොෆ් ට සමාන කරති. නමුත් සත්‍යය එය ද?

1989 වසරේදී පීඩබ්ලිව් බෝතාගෙන් පසුව දකුණු අප්‍රිකාව භාරගන්නා විට සෝවියට් සමූහාණ්ඩුවට අත් වූ ඉරණම ඩි ක්ලාක් සියැසින් දුටුවේය. ඒ, සෝවියට් සංගමය සුණු විසුණු වෙමින් කුඩා කුඩා ස්වාධීන රාජ්‍ය බිහිවෙමින් පැවති යුගයයි. ගොර්බවොච් බලයට පැමිණියේ 1985 වසරේදී ය. වසර 4 ක් ඇතුළත ඔහු සෝවියට් සංගමයේ ඉරණම වෙනස් කළේය. මේ අන්දමින්ම ඩි ක්ලාක් බලයට පත්වූ පසුව ඔහු, නෙල්සන් මැන්ඩෙලාව සිරෙන් නිදහස් කළ යුතු බව ඇතුළුව ප්‍රායෝගික දේශපාලන ත්‍රාසයන් කිහිපයක්ම ක්‍රියාත්මක කළේය.

දෙදෙන අවසානයේ 1993 නොබෙල් සාම ත්‍යාගය හිමි කර ගත්හ. 1994 වසෙර්දී මැන්ඩෙලා රටේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ ප්‍රථම ජනපතිවරයා ලෙස ඉතිහාස ගත විය.

ඩි ක්ලාක් බලයට පත් වන විට අප්‍රිකාවේ සිටියේ Afrikaans ලෙස හඳුන්වන වරප්‍රසාදී සුදු ජාතිකයන් ය. ඔවුන්, 17 වන හා 18 වන සියවස්වල සුබ පැත්මේ තුඩුවට ගොඩබට ප්‍රථම ඕලන්ද ජනපදිකයන්ගෙන් පැවතගෙන එන්නන් ය. වාර්ගික සුදු ජාතිකයන් වූ ඔවුහු සම්ප්‍රදායිකවම දකුණු අප්‍රිකාවේ දේශපාලන හා වාණිජ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රබලයන් බවට පත් ව සිටියහ. ඇපාතෙයිඩ් හෙවත් වර්ණභේදවාදයේ නිර්මාතෘවරුන් වූයේ ද ඔවුන් ය. 1948 වසරේ සිට ‘නැෂනල් පාටි‘ හෙවත් ‘ජාතික පක්ෂය‘ වශයෙන් බලයේ සිටි ඔවුන්, වරප්‍රසාදිත බව තුළින්ම නිපුණතා හිමිකරගෙන සිටියහ. ඩි ක්ලාක් ක්‍රමෝපායික ලෙස කළේ ඔවුන්ගේ බලය බිඳ දැමීමයි. එය කොතරම් උපක්‍රමශීලී ද යත්, ඩි ක්ලාක්ගේ ජනපති ධුර කාලය තුළ ඇපාතෙයිඩ් අවසන් වේ යැයි අනුමානයක් පවා කළේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. සැබවින්ම ඔවුන්ගේ ජීවිත කාලය තුළ පවා එවැනි පෙරළියක් සිදු වේ යැයි ඔවුන් සිතුවේ නැත. විවාදවලදී ද මිත්‍රකම් පෑ මෙම කඩිසර මිනිසා ඔහුගේම පක්ෂයේ අය පවා හඳුනාගෙන තිබුණේ ‘යාන්ත්‍රික දේශපාලකයෙකු‘ ලෙස ය.

දකුණු අප්‍රිකාවේ විසූ ඉංග්‍රීසි බස කතා කරන්නන් හෙවත් ඇන්ග්ලෝෆෝනින් (Anglophones) සහ ඇෆ්රිකානන්වරුන් යන දෙපිරිසමට අවශ්‍ය වූයේ ඩි ක්ලාක් අතින් සුදු ස්වෝත්තමවාදය සුරැකෙනු දැකීමට ය. ගල් තාර යන්ත්‍රයක් (steamroller) මෙන් සෙමෙන් නමුත් ස්ථිරසාර සහ සුමට ලෙස ඉංග්‍රීසි කතා කරන ඩි ක්ලාක් ගැන විදේශිකයන්ට පවා ඉව වැටුණේ නැත. නමුත් සිය මව්බස ඉංග්‍රීසිය නොවන බව ඩි ක්ලාක් කිසි විටෙක අමතක නොකළා ද විය හැකිය.

දේශපාලන පවුල් පසුබිමක්

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ උපත ලබා සිටි එෆ්. ඩබ්. ඩි ක්ලාක් ගුරුවරයෙකුගේ පුතෙකු විය. ඒ ගුරුවරයා පසු කාලීනව සක්‍රිය දේශපාලනයට පිවිසෙන්නේ නැෂනල් පක්ෂයේ ට්‍රාන්ස්වාල් ලේකම්, පළාත් පාර්ලිමේන්තුවේ සාමාජික, පළාත්බද කැබිනට් සාමාජික වැනි විවිධ තනතුරු හොබවමිනි. පසුව වියපත්, අති ධවල කේප්ටවුන් සෙනෙට් සභාවට ද ඔහු තෝරා ගැනිණි. ඒ අනුව ඔහු දකුණු අප්‍රිකාවේ කම්කරු ඇමති සහ මහජන වැඩ පිළිබඳ අමාත්‍යවරයා බවට ද පත්ව සිටියේය.

ඒ අනුව ඩි ක්ලාක්, කුඩා වියේ පටන්ම දේශපාලන හුරුවකින් යුතුව හැදී වැඩුණු බව කිව හැකිය. 1958 වසරේදී නීති උපාධි ධාරියෙකු ලෙස ඔහු පොටෙස්ටෘෘම් සරවියෙන් පිට වූ බව ඇත්තකි. නමුත් උසස් පාසලේ සිට සරසවියට පැමිණෙන විට ද ඔහු නැෂනල් පක්ෂයේ සාමාජිකයෙකු ව සිටියේය.

බෝතාගේ සුදු ස්වෝත්තමවාදය

වීරීනින් නගරයේදී ඩි ක්ලාක් පුද්ගලික නීතීඥයෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළේය. 1961 දී එනම් දශකයකට පසුව, වීරින්ග් හි පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා ලැබුවේය. කෙටි කලකින් ලැබූ නාම යෝජනාව යථාර්ථයක් බවට පත් කර ගන්නට ඔහුට වසර 10 ක් ගත විය. ඒ අනුව 1972 වසරේදී ඩි ක්ලාක් දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුවට පිවිසියේය. පක්ෂ කමිටුවේදී බෙහෙවින් වෙහෙස වී වැඩ කළ ඔහු ට්‍රාන්ස්වාල් (දැන් ගුවටෙන්ග්) පළාත සඳහා තොරතුරු නිලධාරියා බවට ද පත් විය. එය ෆෙඩරල් පක්ෂයේ දේශපාලනික වශයෙන් වැදගත්ම පළාත ය. 1978 දී ජනපති බෝතා ඩි ක්ලාක් ව කැබිනට්ටුව සඳහා පත් කළේය. ඊළඟ වසර 11 තුළ ඔහු කැබිනට් මණ්ඩලයේ ධුර 6 ක් හෙබවූයේය. නමුත් ඔහුගේ දෛවය වෙනස් වූයේ බෝතා විසින් දුන් තල්ලුව නිසා නොවන බව ද කිව හැකිය. 1982 වසරේදී ඔහු NP හෙවත් නැෂනල් පක්ෂයේ ට්‍රාන්ස්වාල් පළාත සඳහා නායකයා ලෙස තේරී පත්වන්නේ අනාගත ජාතික නායකයෙකු බවට පත්වීමේ තිර පදනමකිනි. අනතුරුව ඩි ක්ලාක්, බෝතාගේ 1984 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට ද සහාය දීමට තීරණය කරයි.

බෝතා වෑයම් කළේ දකුණු අප්‍රිකාව ලෝකයෙන් හුදෙකලා නොවීම සඳහා සුදු ස්වෝත්තමවාදය පාවිච්චි කරන්නට ය. නමුත් ඇමරිකානු බැංකු දකුණු අප්‍රිකාවේ ආයෝජනය කිරීම නතර කර දැමූ විට ඇපාතෙයිඩ් මගින් සිදුවන්නට නියමිත ව තිබූ නරකම දේ ඉක්මන් විය. යකඩ සුදු ගැහැණිය මාග්‍රට් තැචර්, දකුණු අප්‍රිකාව සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ථාවරය ‘අශීලාචාර එකක්‘ යැයි ප්‍රසිද්ධියේ චෝදනා කළාය. නමුත් රොනල්ඩ් රේගන්ගේ ඇමරිකානු පරිපාලනය රහසින් දැකීමට කැමති වූයේ සිවිල් අරගලයක් පුපුරා ගොස් දකුණු අප්‍රිකාව අස්ථාවර වීමයි. ඇන්ග්ලෝ සිවිල් යුද්ධයක් ඇති කිරීම ඔවුන්ගේ යටි අරමුණ විය. අවසානයේ එය සඵල විය. මුදල බාල්දු විය. ආර්ථිකය බලා සිටියදී කඩා වැටෙන්නට පටන් ගත්තේය. 80 දශකයේ අග භාගයේ පටන් උත්සන්න වෙමින් පැවති ලේ වැකුණු හදිසි තත්වය පුපුරා ගියේය. ඇමරිකාව අවසානයේ නීත්‍යානුකූල ලෙස සම්බාධක දැමුවේය.

‘නිගාස්‘ යැයි නිගා ලැබූ කළු ජාතිකයෝ

යුධකාමී බෝතා, ප්‍රචණ්ඩකාරී කළු බහුතරය සමග සාධාරණ එකඟතාවයකට එළඹීමට අදහස් කළේ නැත. ඔහුට කළ හැකි හොඳම දෙය වූයේ 1984 දී යෝජනා වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමයි. එනම් ‘කලර්ඩ්‘ හෙවත් මිශ්‍ර ජාතියට සහ වාර්ගික ඉන්දියානු සුළුතරයට දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුවේ වෙනම ආසන වෙන් කිරීමයි. බෝතාගේ ප්‍රතිසංස්කරණ යටතේ දකුණු අප්‍රිකාවේ භූමියෙන් 13%කට පමණක් උරුම කම් කියූ ‘නිගාස්‘ හෙවත් ‘කල්ලන්‘ යැයි නිගා ලැබූ කළු ජාතික බහුතරයට කළ හැකි වැඩිමනත් දෙයක් නොවිණි. ඔවුන් සිය ගෝත්‍රික නිජබිම්වල සිටම සිය ‘අයිතිවාසිකම්‘ ක්‍රියාවට නැංවිය යුතු යැයි යෝජනා වී තිබිණි. නමුත් සත්‍ය වශයෙන්ම මිලියන ගණනක් වූ කළු ජාතිකයන් පවා ඒ කියූ 13% තුළ වාසය නොකළහ. ඒවා එතරම්ම නිසරු – මුඩු බිම් විය. ආර්ථික අයිස්බර්ගය සිදුරු කළ මෙම ඇපාතෙයිඩ් බෙදීමට ඩි ක්ලාක් සහාය පළ කළේ අවස්ථාවාදී ලෙස විය හැකිය. නමුත් එය දීර්ඝ කාලීන ලෙස දකුණු අප්‍රිකානු විප්ලවයට පදනම දැමුවේය.

පුපුරා යාම සිදුවුණේ 1989 වසරේදී ය. එන් පී හෙවත් ජාතික පක්ෂය තුළ ද විරසකයක් නිර්මාණය විය. ‘කැපුවත් NP‘ යැයි කියාගෙන සිටි, පක්ෂය වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදානම් ව සිටි දැඩිමතධාරී සුදු ජාතිකයෝ ද පක්ෂය හැර දමා ගියහ. ඔවුන්ගේ නවාතැන වූයේ 1982 වසරේ පිහිටවූ කොන්සවේටිව් පක්ෂයයි. බෝතාට ආඝාතය (stroke) වැළඳුණේය. 1989 ජනවාරි මස ඔහු පක්ෂයේ නායකත්වයෙන් ඉවත් විය. ඩි ක්ලාක් ව පක්ෂ නායකත්වයට පත් කෙරිණි. නමුත් බෝතා ජනපති ධුරය වෙත තවදුරටත් ඇලී සිටියේය. ඩි ක්ලාක්, බෝතාට නොකියාව සැම්බියාව බලා ගොස් ජනපති කෙනත් කවුන්ඩා සමග සාකච්ඡා කිරීමට තරම් එඩිතර විය. සිය කාලය අවසන් වෙමින් පවතින බව බෝතා ට දැනෙන්නට ඇත. විශාල මතභේදයකින් පසුව ඔහු ජනපති කමෙන් ඉවත් විය. රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ නායකයා ලෙස ඩි ක්ලාක්, 1989 සැප්තැම්බර් මාසයේ තේරී පත් විය. එම පත් කිරීම කෙරුණේ පාර්ලිමේන්තුවේ වාර්ගික කමිටු 3 කින් යුක්ත ඉලෙක්ට්‍රෝරල් කොලීජියක් මගිනි.

වාර්ගික නීති එකින් එක අහෝසි කරයි

වෝස්ටර් සහ බෝතා විසින් ගොඩ නගා තිබූ දැවැන්ත ආරක්ෂක ජාලය තුළම වැඩ කරමින් ඩි ක්ලාක් වාර්ගික නීති එකින් එක අහෝසි කර දැමීමට පටන් ගත්තේය. අනාගත දකුණු අප්‍රිකාව දිනාගත යුත්තේ කුමන මගක් ඔස්සේදැයි ඔහු දැන සිටින්නට ඇත. එම වාර්ගික හෙවත් ජාතිවාදී නීති අහෝසි කර දැමීමේ අග්‍රඵලය වන්නේ 1990 වසරේදී නෙල්සන් මැන්ඩෙලා රොබින් දූපත් සිර කඳවුරෙන් නිදහස් වීමයි. නෙල්සන් මැන්ඩෙලාගේ නාමයේ පැවති මායාවී බලය පුරා වසර 26 ක් නොනැසී පැවතියකි. බෝතාගේ රෙජීමය පවා ඔහු කෙරෙහි යම් ගෞරවයකින් පසු වූ බවත්, ඔහු සමග සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට උත්සුක වූ බවත් නොරහසකි. මැන්ඩෙලා නිදහස් කරන තෙක් තත්වයේ ‘සමථයක්‘ ඇති නොවන බව ඩි ක්ලාක් තේරුම් ගත්තේය. අවසානයේ ජාතික පක්ෂය සහ අප්‍රිකානු ජාතික කොංග්‍රසය සමග නොකඩවා පැවති සාකච්ඡාවලින් පසුව 1994 වසරේදී දකුණු අප්‍රිකාවේ විශ්ව ඡන්ද බලයක් සහිත පළමු මහ මැතිවරණය පැවැත්විණි. එහිදී ‘නිගාස්‘ (කල්ලෝ) යැයි එතෙක් නිගා ලැබූ කළු ජාතිකයෝ ද සිය ජීවිතයේ ප්‍රථම වරට ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලැබූහ. වාර්ගික වෙනස්කමකින් තොරව පැවැත්වූ එම ප්‍රථම මහ මැතිවරණය වෙනුවෙන් ඩි ක්ලාක් හට ගෞරවය හිමිවිය යුතුම ය.

අපේක්ෂා කළ පරිදි ම අප්‍රිකානු ජාතික කොංග්‍රසය නියෝජනය කළ නෙල්සන් මැන්ඩෙලා ආසන 252 ක් දිනාගත්තේය. දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව 201 ක් පමණක් විය. ඩි ක්ලාක් දිනාගත්තේ ආසන 82 ක් පමණි. දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනපතිවරයා ලෙස නෙල්සන් මැන්ඩෙලා දිවුරුම් දුන්නේය. ඩි ක්ලාක් තවදුරටත් ඔහුට සහාය දුන්නේ, සංක්‍රාන්තික ආණ්ඩුවේ උප ජනපතිවරයා ලෙස කටයුතු කරමිනි. නොබෙල් සාම ත්‍යාගය ඔහු මැන්ඩෙලා සමග සිනාමුසු මුහුණින් යුතුව බෙදාගන්නේ සිය රාජ්‍ය තාන්ත්‍රිකත්වය වෙනුවෙන් ලද ඉහළම ත්‍යාගය ලෙස සලකමින් විය යුතුය.

‘සිස්ටම් චේන්ජ්‘ හෙවත් ක්‍රමයේ වෙනසක් ගැන කතා කරන ඕනෑම අයෙකුට ඩි ක්ලාක්ගේ චරිතය හැදෑරීම සුදුසු වන්නේ, පවතින ක්‍රමය පීඩාකාරී බව දුටු විට එම ක්‍රමය තුළ හිඳිමින්ම එය වෙනස් කිරීමේ අසීරුතම කාර්යයක ඔහු නිතර වූ නිසා ය. එය මැන්ඩෙලා විසින් කළ ප්‍රකට ඝෝෂක විප්ලවයට වඩා අසීරු එකක් වන්නට ඇතැයි අප මුලින් පැවසුවේ ඒ නිසා ය.

වර්ගයා පාවාදුන් ‘ජුදාස්‘

ඩි ක්ලාක් සහ නෙල්සන් මැන්ඩෙලා හිතවතුන් වූ බව මේ කතාවේ කොතැනකින්වත් අදහස් නොවේ. ඔවුහු ප්‍රසිද්ධියේ අතට අත දීම ප්‍රතික්ෂේප කළහ. ඩි ක්ලාක් ජාතික පක්ෂය හැර යන්නේ පසුකාලීනව එය අප්‍රිකානු ජාතික කොංග්‍රසය සමග එක් වන්නට පිඹුරුපත් සකස් කරන විට ය. කෙසේ නමුත් මේ අතර දැඩි මතධාරී සුදු ජාතිකයන් ඩි ක්ලාක්ව දුටුවේ සිය වර්ගය පාවාදුන් ‘ජුදාස්‘ කෙනෙකු ලෙස ය.

ඓතිහාසික අවශ්‍යතාවය (historic necessity)

1997 වසරේදී ඩි ක්ලාක් ජාතික පක්ෂ නායකත්ව ධුරයෙන් ඉල්ලා අස්වන්නේ සිය මතකයන් ලියා තැබීම සඳහා ය. ඒ වන විටත්, 1996 ජාතික සමගි ආණ්ඩුවෙන් ජාතික පක්ෂය ඉවත් වී තිබුණේ වසර 48 ක් නොකඩවා බලයේ සිටි යුගය නිමා කරමිනි. නව ජාතික පක්ෂයක් ස්ථාපනය කිරීම සඳහා විශාල උනන්දුවක් දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයන් අතර පැවති නමුත්, මැන්ඩෙලාගේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය සමග 1994 වසරේදී ජාතික පක්ෂය ඒකාබද්ධ වන්නට තීරණය කළ විට ඩි ක්ලාක් පක්ෂයෙන් ද ඉවත් විය. එය, ඔහු මැන්ඩෙලාගේ මිතුරෙකු නොවූ බවට තවත් සාක්ෂියකි.

ඒ වන විට දකුණු අප්‍රිකාවෙන් නිරුක්තිය ලබා ලොව පුරා අදටත් සංහිඳියාව හා සංක්‍රාන්ති යුක්තිය වෙනුවෙන් මොඩලයක් ලෙස ක්‍රියාත්මක වන ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරුවරයාගේ ‘සත්‍ය හා සංහිඳියා කොමිසම‘ (Truth and Reconciliation Commission) වැඩ පටන් ගෙන තිබූ කාලයයි. සුදු ආධිපත්‍යය තුළ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් කඩ වූ ආකාරය, ඔවුන් අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ආකාරය පිළිබඳ කරුණු රැසක් හෙළිදරව් වෙමින් පැවතියේය. කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ වසර 11 ඇතුළත ඩි ක්ලාක් එම උල්ලංඝනයන්ට දායක වූ ආකාරය ද ඒවායින් හෙළිදරව් විය. ඔව්, ඔහු සාන්තුවරයෙකු නොවීය.

ඩි ක්ලාක්ගේ ස්මරණ ග්‍රන්ථය වූ The Last Trek: A New Beginning (1999) ග්‍රන්ථය දේශපාලකයෙකුගේ ටිපිකල් සමාව අයැදීමක් බව විචාරකයෝ කියති. ආරක්ෂක හමුදාවන්ගේ අත්තනෝමතික ක්‍රියාවන්ට එල්ල වන දෝෂාරෝපණය මෙහිදී ඩි ක්ලාක් ප්‍රතික්ෂේප කරයි. බලය අන් අයට බෙදා දෙන විට පවා ආරක්ෂක හමුදාවන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ වගවීම ඔහු එයින් බැහැර කරයි. නමුත් ඉන්පසුව ඔහු ‘ඩි ක්ලාක් පදනම‘ De Klerk Foundation පිහිටුවා ගනියි. ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කළ එය, ‘සමාජයන්හි සාමය සහ බහුප්‍රජා භාවය‘ වෙනුවෙන් කැප වුණේය.

මේ අනුව ඩි ක්ලාක් අසාමාන්‍ය හෝ අද්විතීය මිනිසෙකු ලෙස හඳුන්වා දෙනවාට වඩා, වර්ණභේදවාදය තුරන් කිරීමේ ‘ඓතිහාසික අවශ්‍යතාවය‘ විසින් මෙහෙයවුණු මිනිසෙකු ලෙස හඳුන්වා දීම වඩා සාධාරණ වනු ඇත. නමුත් ඔහුගේ විශේෂත්වයක් විය. එනම්, සමකාලීන දේශපාලකයන් සහ ඔහුට පෙර සිටි අය මේ ඓතිහාසික අවශ්‍යතාවය ප්‍රතික්ෂේප කරන විට ඔහු නායකයෙකු වශයෙන් එය පිළිගත්තේය. එම පිළිගැනීම අනුව කටයුතු කිරීමට අසාමාන්‍ය ධෛර්යයක් පෙන්නුම් කළේය. එමගින් මිලියන ගණනක් වූ දකුණු අප්‍රිකානු කළු ජාතික පීඩිතයන්ගේ ඉරණම වෙනස් කළේය.

ලෝකයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස මේ අනුව සැලකුම් ලැබීමට සුදුසු ඩි ක්ලාක්, මනුෂ්‍යත්වයේ නාමයෙන් තමන් ඒ වන විටත් කර තිබූ කාර්යභාරය නොතකාම, සිය මරණ මංචකයේදී ද වර්ණභේදවාදයෙන් පීඩාවට පත් වූ දකුණු අප්‍රිකාවෙන් සමාව අයැද සිටියි.

එනිසා ඔහුගේ මරණින් මතු ලෝකය දකින ඔහුගේ සමාව ඉල්ලා සිටීම ‘මළ පසු සමාව‘ක් (posthumous apology) වුවද, කිසිදා නොකර සිටීමට වඩා මරණ මංචකයේදී හෝ අවසන් යුතුකම ඉටු කළ මනුෂ්‍යයෙකු වශයෙන් එෆ් ඩබ් ඩි ක්ලාක් ඉතිහාස පොතට එක් වනු ඇත.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි