×

ඇකඩෙමිය තහනම්.. විල් ස්මිත්ට මොනවා වෙයි ද?

විල් ස්මිත් කළේ හුදෙක් පහර දීමක් නේ, එහි ඇති වරද කුමක් ද? යන්න ඔබට ඇසිය හැකියි. නමුත් 'ආවේගයෙන්' සාධාරණීකරණය වන පහර දීම පහර දීමක් වෙනුවට ගෙල සිරකිරීමක් වී විල් ස්මිත් ක්‍රිස් රොක්ගේ ගෙල සිර කර ක්‍රිස් රොක් වේදිකාව මත ම මියැදුනා නම්???


සුපිරි හොලිවුඩ් රංගන ශිල්පී විල් ස්මිත් ට ඔස්කාර් ඇකඩෙමිය විසින් වසර 10 ක තහනමක් පනවා තිබෙනවා. ඒ මීට සති කිහිපයකට ඉහත පැවති 94 වන ඔස්කාර් සම්මාන උළෙලේ දී ප්‍රහසන ශිල්පී ක්‍රිස් රොක් ට ප්‍රසිද්ධ වේදිකාවේ කම්මුල් පහරක් දීමේ සිදුවීමට අදාළව.

ඔස්කාර් ඇකඩෙමිය මෙම තීන්දුව ගෙන තිබෙන්නේ එම සිදුවීමට අදාළව පැවැත්වූ විනය ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් විදියට.

ඒ අනුව වසර 10 කාලයක් සඳහා ඔස්කාර් සම්මාන උළෙල ඇතුළු ඇකඩෙමියේ කිසිඳු අවස්ථාවකට සහභාගී වීමට විල් ස්මිත් ට තහනම් වේ.

ඔස්කාර් සම්මාන උළෙල සංවිධානය කරන ඇකඩෙමි ඔෆ් මෝෂන් පික්චර් ආර්ට්ස් ඇන්ඩ් සයන්සස් ආයතනය විසිනි මෙම නිවේදනය සිදු කර තිබෙන්නේ. ඒ විල් ස්මිත් ගේ සිදුවීමට අදාළව පැණවිය හැකි සම්බාධක පිළිබඳව පුළුල් සාකච්ඡාවක යෙදීමෙන් අනතුරුවයි.

“94 වැනි ඔස්කාර් සම්මාන උළෙල, ගතවූ වසර තුළ ඇදහිය නොහැකි සේවාවක් ලබා දුන් අප ප්‍රජාවේ බොහෝ පුද්ගලයන් ගේ සැමරීමක් වීමට තිබුණා. කෙසේවෙතත්, ස්මිත් මහතා වේදිකාව මත ප්‍රදර්ශනය කළ පිළිගත නොහැකි හා හානිකර හැසිරීම් වලින් එම අවස්ථා යටපත් වුනා. අප්‍රේල් 08 වන දා සිට වසර 10 ක කාලයක් යනතුරු, ඇකඩෙමි සම්මාන උළෙල ඇතුළු ඇකඩෙමියේ කිසිඳු අවස්ථාවක් හෝ වැඩසටහනකට පෞද්ගලිකව හෝ වර්චුවල් අවකාශය ඔස්සේ සහභාගී වීමට ස්මිත් ට අවසර නොදෙනු ඇත. විල් ස්මිත්ගේ හැසිරීමට ප්‍රතිචාර වශයෙන් අප අද ගන්නා මෙම ක්‍රියාව, අපගේ රංගධරයන්ගේ සහා ආරාධිතයන්ගේ ආරක්ෂාව රැක ගැනීම හා ඇකඩෙමිය කෙරෙහි ඇති විශ්වාසය නැවත ගොඩනැඟීම සඳහා වූ විශාල ඉලක්කයක් කරා යන පියවරකි.”

ඇකඩෙමි ඔෆ් මෝෂන් පික්චර් ආර්ට්ස් ඇන්ඩ් සයන්සස් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වුනේ එහෙම දෙයක්. ඇකඩෙමියේ තීන්දුව තමා භාරගන්නා බව ද විල් ස්මිත් පවසා තිබෙනවා.

ඇකඩෙමිය විසින් මෙම තීන්දුව ගැනීමට පෙරාතුවම විල් ස්මිත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැද තිබුණා. එපමණක් නොවෙයි, ඇකඩෙමි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව ද ප්‍රකාශ කර තිබුණා. ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළ මොහොතේ හැඟීම්බර පාපොච්ඡාරණයක් ද සිදුකර තිබුණා. තමා කළ ක්‍රියාව කම්පනය දනවන හා කිසිසේත්ම සාධාරණීකරණය කළ හැකි ක්‍රියාවක් නොවන බවත්, එය ඔස්කාර් සම්මාන උළෙල ට සහභාගී වී සිටි සහෝදර රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ සතුට උදුරාගත් බවත්, සම්මාන ලාභීන් හා සම්මාන සඳහා නාමයෝජනා ලැබූවන් ට කළ නිග්‍රහයක් බවත් ඔහු සඳහන් කර තිබුණා. එමෙන්ම, මෙම සිදුවීම නිසා ඇතිවිය හැකි ඕනෑම ප්‍රතිවිපාකයක් විඳදරා ගැනීමට තමා සූදානම් බව ද විල් ස්මිත් පවසා තිබුණා.

විල් ස්මිත් ඔස්කාර් සම්මාන උළෙලේ – ඡායාරූපය: රොයිටර්

94 වන ඔස්කාර් සම්මාන උළෙලේදී කිංග් රිචර්ඩ් චිත්‍රපටය වෙනුවෙන් විල් ස්මිත් ට හොඳම නලුවා ට හිමි සම්මානය ද හිමි වීම විශේෂත්වයක්.

විල් ස්මිත් ක්‍රිස් රොක්ට පහර දුන්නේ ඇයි?

94 වන ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වූයේ ඉකුත් මාර්තු 27 වන දින ලොස් ඇන්ජලීස් හි ඩොල්බි තියටර් රඟහලේ දී. උළෙල නිවේදනය කළේ ප්‍රහසන ශිල්පී ක්‍රිස් රොක්. සම්මාන ලබා දීමට පෙරාතුව යම් අදහසක් ඉදිරිපත් කිරීම ඕනෑම නිවේදකයකුගේ පුරුද්දක්. ක්‍රිස් රොක් ප්‍රහසන ශිල්පියකු බැවින් සෑම දෙයක් ම උත්ප්‍රාසයට ගෙන වචනයට හැරවීම ඔහුගේ කලාවයි.

නමුත් මෙම මොහොතේ ක්‍රිස් රොක් හාස්‍යයට ලක්කළේ විල් ස්මිත් ගේ බිරිඳ වන සුපිරි රංගන ශිල්පිනී ජේඩා පින්කට් ස්මිත් ය.

මෙම මොහොතේ ක්‍රිස් රොක් ජේඩා ගේ කොණ්ඩා මෝස්තරය 1997 වර්ෂයේ තිරගත වූ ජීඅයි ජේන් චිත්‍රපටයේ ඩෙමී මූර් නම් රංගන ශිල්පිනය හැඳි කොණ්ඩා මෝස්තරයට සමාන කළා. ජේඩා සම්පූර්ණයෙන්ම හිස බූ ගා සිටින අතර, ඩෙමී මූර් ජීඅයි ජේන් චිත්‍රපටයේ සිටින්නේ ද සම්පූර්ණයෙන්ම හිස බූ ගා ය.

නමුත් ජේඩා හිස බූ ගා සිටින්නේ හුදෙක්ම විලාසිතාවකටත් වඩා හිසකේ අහිමි වීමේ සෞඛ්‍ය තත්ත්වයකින් (alopecia) ඈ පෙළෙන නිසාවෙනි. ක්‍රිස් රොක් සිදුකළ ප්‍රකාශයට උරණ වූ විල් ස්මිත් එම මොහොතේ ම වේදිකාවට නැඟ ක්‍රිස් රොක්ට කම්මුල් පහරක් දී නැවත තම ආසනයේ අසුන් ගත්තා.

“උඹේ ඔය හු** කටින් මගේ ගෑනිගේ නම කියන්න එපා!”

විල් ස්මිත් පවසා සිටියේ එවැන්නක්.

මෙම සිදුවීම රැස්ව සිටි පිරිස කම්පනයට පත් කළ අතර, ක්‍රිස් රොක් සිනහවෙන්ම විඳදරා ගෙන තම කතාව දිගටම කරගෙන ගිය අයුරු කැමරා කාචයේ සටහන් ව තිබුණා.

මෙම සිදුවීමෙන් පසු, විල් ස්මිත්ට කිංග් රිචර්ඩ් චිත්‍රපටයට හොඳම නලුවා ට හිමි සම්මානය ලබා දුන්නේ ද කිසිවක් සිදු නොවූ ගානට.

නමුත්, මේ සමඟ ඇකඩෙමිය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, මෙවන් සිදුවීමක් හමුවේ ක්‍රිස් රොක් තම තත්ත්වය පවත්වා ගනිමින් විනීතව සිටීමට කටයුතු කිරීම පිළිබඳව ඇකඩෙමිය සිය දැඩි කෘතඥතාව පළ කරන බවයි.

විල් ස්මිත් ට පුටින් ආවේෂ වුනා ද?

සමාජය තුළින් ඉවත් කළ යුත්තේ ද මෙය මයි. විවේචනය හෝ අවලාද හමුවේ පහර දෙන කලාව ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිඳු තැනක අනුමත කරන්නක් නොවේ. තම බිරිඳ ගේ ගෞරවය රැක ගැනීම ස්වාමි පුරුෂයකුගේ වගකීමක් යැයි ඇතමෙකුට තර්ක කිරීමට පුළුවන. නමුත් අත එසවීම ඒ සැම අභිබවා යන කරුණකි. අත ඔසවන්නේ හුදෙක් පහර දීමකට ද, නැතහොත් වෙඩි උණ්ඩයක් දියත් කිරීමට ද යන්න තීරණය වන්නේ එම ක්‍රියාවට සම්බන්ධ වන පුද්ගලයාගේ මොළය තුළ. ආවේගය මත පුද්ගලයකු ක්‍රියා කරන්නේ කොයි ලෙසින් ද යන්න කිසිවකුට පුරෝකථනය කිරීමට බැහැ.

ක්‍රිස් රොක් සම්මාන උළෙල අමතමින් – ඡායාරූපය: ඒඑෆ්පී

විල් ස්මිත් කළේ හුදෙක් පහර දීමක් නේ, එහි ඇති වරද කුමක් ද? යන්න ඔබට ඇසිය හැකියි. නමුත් ‘ආවේගයෙන්’ සාධාරණීකරණය වන පහර දීම පහර දීමක් වෙනුවට ගෙල සිරකිරීමක් වී විල් ස්මිත් ක්‍රිස් රොක්ගේ ගෙල සිර කර ක්‍රිස් රොක් වේදිකාව මත ම මියැදුනා නම්???

ක්‍රිස් රොක් කළ ප්‍රකාශය අනුමත කරන්න බැහැ, එහි සැකයක් නැහැ. නමුත් විල් ස්මිත් කළ යුතුව තිබුණේ ඊට තම ‘පිරිමිකම’ පෙන්වීම නොව ක්‍රිස් රොක් ගේ භාෂාවෙන්ම ප්‍රතිචාර දැක්වීමයි. ආවේගය මත මිනිසුන් ඝාතනය කරන සමාජයක් අපි. ආවේගය මත රටවල් අතර යුද්ධ ඇතිකරගන්නා සමාජයක් අපි. එය එක් කම්මුල් පහරක සිට කිලෝමීටර් දහස් ගණනක් ඈත තිබෙන රටකට දියත් කරන මිසයිල ප්‍රහාරයක් දක්වා උත්සන්න විය හැකියි.

ඇකඩෙමියේ සාමාජිකත්වය

ඔස්කාර් යනු ලොව රංගනය සඳහා ඇගයීම් ලබා දෙන ජාත්‍යන්තර තලයේ ඇති විශාලතම වේදිකාවයි. ඔස්කාර් ඇකඩෙමියේ සාමාජිකත්වය අහිමි වීම කොපමණ බරපතල ද?

ඔස්කාර් ඇකඩෙමියේ සාමාජිකත්වය අහිමි වීමටත් වඩා එහි සාමාජිකත්වය ලබා ගැනීම ම අතිශය දුෂ්කර ක්‍රියාවලියක්. යම් රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට ඇකඩෙමි සාමාජිකත්වය ලබා ගැනීමට නම් අවම වශයෙන් ඇකඩෙමියේ දැනටමත් සාමාජිකත්වය දරන රංගධරයන් දෙදෙනෙකු ගෙන් වත් නාමයෝජනා ඉදිරිපත් වී තිබිය යුතුයි. එසේත් නැතිනම් තමා රංගනයෙන් දායකත්වය ලබා දුන් චිත්‍රපටයකට අදාළව ඔස්කාර් සම්මාන උළෙලේ යම් කාණ්ඩයකට නාමයෝජනා ඉදිරිපත් වී තිබිය යුතුයි.

පළමු ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වූ 1929 වර්ෂයේ සිට මේ දක්වා සම්මාන උළෙල 94 ක් පවත්වා තිබෙනවා. ඒ අනුව සියවසකට ආසන්න කාලයක් මුළුල්ලේ ඇකඩෙමිය තම වැඩකටයුතු අඛණ්ඩව සිදුකරමින් සිටී. රංගවේදීන් ගෙන් ගහන හොලිවුඩය හිමි මෙතරම් සුවිසල් එක්සත් ජනපදයත්, තව ලොව නන්දෙස ජාත්‍යන්තර කීර්තිය දිනා ගත් හා දිනා ගන්නා රංගවේදීන් සිටියදීත් ඇකඩෙමියේ සාමාජිකත්වය දරන්නේ සාමාජිකයන් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව ඔබ දැන සිටියා ද?

ඇකඩෙමියේ සාමාජිකත්වය ගැනීම කොපමණ අපහසු ද යන්න එයින්ම පසක් වනවා.

ඡායාරූපය: © MidoSemsem/Shutterstock.com

විල් ස්මිත් අහිමි කරගත්තේ එවන් සාමාජිකත්වයක්. විල් ස්මිත්ට අහිමි වන සාමාජිකත්වය නිසා මතුවට ඔස්කාර් සම්මාන උළෙල ඇතුළු කිසිඳු ඇකඩෙමි වැඩසටහනකට සහභාගී වීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීම වසර 10ක් ගතවන තුරු ඔහුට තහනම් වනවා.

එපමණක් නොවෙයි, විල් ස්මිත් වැනි හොලිවුඩයේ දැවැන්තයෙකුට වසර 10ක් යන තුරු ඇකඩෙමිය ට යළි පා තැබීම තහනම් වීම ඔහුගේ වෘත්තියට ද යම් බලපෑමක් එල්ල කළ හැකියි. සොකරම් කිරීම්, ලිංගික අපයෝජන, ළමා අපයෝජන, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම්, අත්අඩංගුවට පත්වීම්, සිරදඬුවම් විඳීම් ඇතුළු විවිධ කරුණු මත තම පෞද්ගලික ජීවිතයේ නම කිලිටි කරගන්නා රංගධරයන් ගේ සැනසුම් පිටිය වන්නේ රඟහලයි. ඔවුන්ගේ නාමය ලෝකයාගේ මතකයේ රැඳෙන්නේ ඔවුන්ගේ රංගන ශ්‍රේෂ්ඨත්වය විදහා පෑ සිනමා පට හරහා මිස පෞද්ගලික ජීවිතයේ වැඩවරදා ගත් ස්ථාන වලින් නොවේ.

නමුත් විල් ස්මිත් ට දැන් මුහුණ දීමට සිදුව ඇත්තේ තම වෘත්තියට සෘජුවම බලපාන වරදක ප්‍රතිවිපාක ය. තම වෘත්තීය ජීවිතයේ මුල් කාලසීමාව තුළ ගායන ශිල්පියකු ලෙසත් එතනින් ඔබ්බට රංගන ශිල්පියකු ලෙසත් තිස් වසරක ශ්‍රේෂ්ඨ කලා ඉතිහාසයකට උරුමකම් කියන විල් ස්මිත් ගේ ආවේගය නිසා ඔහුට අහිමි වන්නේ හුදෙක්ම ඔස්කාර් සාමාජිකත්වය පමණක් ද?

ප්‍රමෝද් චින්තක පීරිස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි