×

ඔබේ වැසිකිළියේ ශබ්දය, අසල්වැසියාගේ මානව හිමිකම් උල්ලංඝනය කරනු ඇත! – කවුරු කොහොම කිව්වත්, ඉතාලිය තමයි ‘හොඳටම කරේ’!

රාත්‍රියේදී ඔබ, ඔබේ අසල්වැසියාගේ නින්දට බාධා කරමින් ශබ්දය ඇති වන ‌සේ වැසිකිළිය භාවිතා කරන්නේද?


එය මානව හිමිකම් උල්ලංඝනයකි! එසේ කියන්නේ ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණයයි.

ඉතාලියේ ඉහළම උසාවිය වන ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය හෙවත් Supreme Court of Cassation ඊ‌යේ දිනයේ මෙම අපූර්ව නඩු තීන්දුව ලබාදුන්නේ වසර 19 ක් පුරා පැවති නීතිමය අරගලයක් අවසන් කරමිනි.

මෙයට වසර 19කට පෙර ඉතාලියේ ලා ස්පේසියා නුවර මහල් නිවාසයක ජීවත් වූ යුවළක් සිය අසල්වැසියාගේ අලුත් කොමඩ් වැසිකිළිය තමන්ගේ නින්දට බාධා කරන බවත්, රාත්‍රියේදී තමන්ව අවදි කරන බවත් පවසමින් නඩුවක් පවරා තිබිණි.

ඔවුන් කියා සිටියේ අසල්වැසියාගේ කොමඩ් වැසිකිලියෙන් තමන්ට ‘ඉවසා ගත නොහැකි ශබ්දයන්’ ඇති වන බවයි.

ඉතාලියේ පහළ අධිකරණයක් මගින් මෙම අයදුම්පත ඉවත දැමූ විට එම යුවළ ඉතාලියේ ඉහළම අධිකරණය වෙත අභියාචනයක් යොමු කළහ. අධිකරණය මේ ගැන විමර්ශනයක් ආරම්භ කළ අතර, එහිදී හෙළි වුණේ සත්‍ය වශයෙන්ම එම ශබ්දය ඉතා පීඩාකාරී බවයි. එම මහල් නිවාසයේ හිමිකරුවන් වූ සහෝදරයන් හතර දෙනා, මහල් නිවාසයේ වැසිකිළිවලට ජලය ලබාදෙන වතුර ටැංකිය සවි කර තිබුණේ මෙම යුවළ ජීවත් වූ ස්ථානයට නුදුරෙන් වූ අඟල් නවයක බිත්තියකට ය.

අධිකරණය මෙම යුවළ, රාත්‍රියට සුව නින්දක් ලබාගැනීම සඳහා කරන සටනට සංවේදී විය. ඒ රටවල අධිකරණ එසේ ය. නීතිය ද එසේ ය. වැසිකිළිය ෆ්ලෂ් කරන ශබ්දය (sound of flushing) විසින් ඔවුන්ගේ ‘ජීවිතවල ගුණාත්මක භාවය සහ දෛනික පුරුදු නිදහසේ සිදුකිරීමට ඇති අයිතිය” උල්ලංඝනය වන බව එහිදී පෙනී ගියේය.

මෙම දෙවැනියට කී අයිතිය, මානව හිමිකම් පිළිබඳ යුරෝපා ප්‍රඥප්තිය විසින් පිළිගත් මානව අයිතිවාසිකමකි.

මේ අනුව ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ඉතා ප්‍රගතිශීලී පියවරක් ගෙන තිබේ. ඒ, අන්තර්ජාතික මානව හිමිකම් නීතියේ තවත් මානව හිමිකමක්, සිය දේශීය නීතියට අන්තර්ග්‍රහණය කිරීමයි. එසේ නොවන තාක්කල්, ඒවා ජාත්‍යන්තර සම්මුතිවලට පමණක් සීමා වී ඇති, රටක ජනතාවගේ ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් නොකරන නීතිමය ලියවිලි බවට පමණක් පත් වේ. මෙසේ වූ විට ‘මානව හිමිකම් කන්නද?” යැයි ජනතාව අසති. ලංකාවට සිදුවී තිබෙන්නේ මෙයයි.

ටොයිලට් ෆ්ලෂ් කිරීමේ ශබ්දයෙන් තොරව නිදහසේ නිදා ගැනීමේ අයිතිය තබා, ශ්‍රී ලංකාව තුළ ‘ජීවත් වීමේ අයිතිය’වත් මූලික අයිතිවාසිකමක් නොවේ.

කෙසේ නමුත් අප කළ යුතු වන්නේ,”ඉතාලියේ එහෙම වුණත් – ලංකාවේ එහෙම වෙන්නෙ නෑ” යැයි සුපුරුදු දූපත් යාතිකාව යාදිනි කිරීම නොවේ. මූලික අවශ්‍යතාවලට පවා ණය ගැනීමට සිදුවූ රටවල පුරවැසියෝ මානව හිමිකම් කන්නදැයි අසති. ඒවා ‘ජාත්‍යන්තර කුමන්ත්‍රණ’ යැයි කියති. ජන නායකයන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ‘අන්තර්ජාතික මානව හිමිකම්වලට අපි ගරු කරනවා. රට ඇතුළෙ කිසිම මානව හිමිකම් කඩවීමක්, වෙනස්කමක් කරන්න අපි ඉඩ තියන්නෙ නෑ” යැයි සිංහනාද කළ පමණින් ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

එනිසා ඔබට ‘හොඳටම කිරීමට’ අවශ්‍ය නම්, ටොයිලට් ෆ්ලෂ් කිරීම දක්වා දුර දිග නොගොස් අඩුම වශයෙන් ජීවත් වීමේ අයිතියවත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත් මානව හිමිකමක් නොහොත් ‘මූලික අයිතිවාසිකමක්’ බවට පත් කර පෙන්වන්න!

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි