×

2000 දශකයේ සංගීතයෙන් මතුවූ සිහින කුමරා ඇරන් කාර්ටර් අවසන් ගමන් යයි!

නූතන යෞවන පරම්පරාවට ඔහුගේ නම එතරම් හුරුපුරුදු නොවූවද ඇරන් යනු 2000 දශකයේ ජස්ටින් බීබර් කිවහොත් වඩා නිවැරදි ය..


90 දශකයේ අග භාගයේ ළමා ගායකයකු ලෙස සංගීත ක්ෂේත්‍රයට පිවිස 2000 දශකයේ එක්සත් ජනපදයේ පමණක් නොව පොව පුරා බොහෝ දෙනෙකු අතර සංගීත සිහින කුමරකු ලෙස ජනාදරයට පාත්‍ර වූ ඇරන් කාර්ටර් මිය ගොස් තිබේ.

ඇරන් කාර්ටර් යනු ලෝ පතල බෝයිබෑන්ඩ් කණ්ඩායමක් වන බැක්ස්ට්‍රීට් බෝයිස් (Backstreet Boys) හි නික් කාර්ටර් ගේ බාල සහෝදරයා ය.

නූතන යෞවන පරපුර අතර ඔහුගේ නාමය එතරම් ජනප්‍රියත්වයක් ඉසිලුවේ නැතිවූව ද, ඇරන් යනු 2000 දශකයේ සිටි ජස්ටින් බීබර් කිවහොත් වඩා නිවැරදිය. ඔහු ඒ තරමට බටහිර සංගීතයේ ජනප්‍රියත්වයක් ඉසිලූ තරුණ ගායන ශිල්පියෙකි.

ඔහුගේ අභාවය ඊයේ (05) දින සිදුව ඇති බවට බිල්බෝර්ඩ් (Billboard) සංගීත දර්ශකය සහ හොලිවුඩ් රිපෝර්ටර් පුවත්පත (The Hollywood Reporter) වෙත තහවුරු කර ඇති අතර, මිය යන විට ඇරන් 34 වන වියේ පසුවිය.

ඡායාරූපය: Variety

ඔහුගේ මරණයට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු කළ වාර්තාවක් නොමැති අතර, ඔහුගේ සොයුරු බැක්ස්ට්‍රීට් බෝයිස් සාමාජික නික් කාටර් ද මීට නිසි ප්‍රතිචාරයක් ලබා දී නොමැති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි පොලිස් දෙපාර්තමේන්තුවට ඇරන් ජීවත්ව සිටි ප්‍රදේශයේ සැක සහිත මරණයක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වූ බව හොලිවුඩ් රිපෝර්ටර් පුවත්පත වාර්තා කර සිටින අතර, එම මරණය ඇරන් ගේ ද යන්න තහවුරු කිරීමක් සිදුකර නැත.

1987 දෙසැම්බර් 07 වන ෆ්ලොරිඩා හි උපත ලද ඇරන් තම කුළුඳුල් ගීත ඇල්බමය වන Aaron Carter 1997 වර්ෂයේ නිකුත් කරන විට ඔහුට යම්තම් වයස අවුරුදු 10 කි. එම ඇල්බමයේ අඩංගු වූ Crazy Little Party Girl, Crush On You වැනි ගීත බොහෝ ජනප්‍රියත්වයක් ඉසිලූ අතර, ඔහු එක්සත් ජනපදයේ පමණක් නොව ලොව පුරා තරුණ තරුණියන්ගේ ආදරය දිනා ගන්නේ 2000 වර්ෂයේ නිකුත් කරන Aaron’s Party (Come and Get It) නම් ගීත ඇල්බමයෙන් අනතුරුව ය. එම ඇල්බමයේ “I Want Candy” නම් ගීතයේ ඇරන් ගේ ආවරණය අතිශය ජනප්‍රියත්වයක් ඉසිලූ අතර, එය බිල්බෝර්ඩ් (Billboard) සංගීත දර්ශකයේ හොඳම ගීත 100 අතරට ඇතුළත් විය. ඇරන් ගේ Aaron’s Party (Come and Get It) නම් ගීත ඇල්බමය සංගීත ලෝවේ ප්‍රපංචයක් බවට පත්විය.

ඇරන් තම සොයුරු බැක්ස්ට්‍රීට් බෝයිස් සාමාජික නික් සමඟ | ඡායාරූපය: WireImage

2001 වර්ෂයේ නිකුත් වූ ඇරන්ගේ තුන්වන ගීත ඇල්බමය වූ Oh Aaron වෙත ප්ලැටිනම් සහතිකය හිමිවූ අතර, එතැනින් මත්තට තවත් ගීත ඇල්බම තුනක් ඔහු විසින් නිකුත් කරන ලදී.

සංගීත ක්ෂේත්‍රයට අමතරව, ඇරන් එක්සත් ජනපදයේ ටෙලිනාට්‍ය මාලා සඳහා රංගනයෙන් ද දායක වී තිබේ. Lizzie McGuire, Sabrina, the Teenage Witch, සහ 7th Heaven වැනි ටෙලිනාට්‍ය මාලා වලට රංගනයෙන් දායක වී ඇති ඇරන්, Fat Albert, Supercross වැනි චිත්‍රපට වලට ද රංගනයෙන් දායක වී ඇත.

ඡායාරූප: Billboard



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි