ආචාර්ය අබ්දුල් කලාම් හට විදෙස් සංචාරවලදී නොයෙක් තෑගි බෝග ලැබුණේය. විදේශ සංචාරයකදී රාජ්‍ය නායකයෙකු හට පිරිනැමෙන ත්‍යාගයක් ප්‍රතික්ෂේප කිරීම මාතෘභූමිය ලැජ්ජාවට පත්කිරීමකි. එනිසා ඔහු සියලු තෑගි පිළිගත්තේය. අනතුරුව නැවත ඉන්දියාව බලා ආ විට අබ්දුල් කලාම් කළේ ඒ සියල්ල එකින් එක ඡායාරූපගත කිරීමට සහ ඉන්වෙන්ට්‍රිගත කිරීමට උපදෙස් දීමයි. ඉන් පසු ඒවා ගබඩාවලට යැවිණි. කලාම් එයින් මතු කිසිවිටෙක ඒ ත්‍යාග දෙස බලන්නේ පවා නැත. මේ නායකයා රාෂ්ට්‍රපති භවන් හෙවත් ඉන්දීය ජනපති නිල නිවසින් සමුගෙන යන විට එසේ තෑගි වශයෙන් ලැබුණු එකදු පැන්සලක් පවා ගෙන ගියේ නැත!
ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාවේ ජනපති පදවියට පත් 2002 වසරේදී රාමසාන් මාසය යෙදී තිබුණේ ජූලි-අගෝස්තු අතර ය. ජනාධිපතිවරයා විසින් ඉෆ්තාර් හෙවත් රාමසාන් භෝජන සංග්‍රහයක් පැවැත්වීම සිරිතකි. මේ සම්බන්ධයෙන් කතා බහ සිදුවන විට කලාම්, සිය ලේකම්වරයා වූ පී.එම්. නායිර් ව කැඳවා ඔහුගෙන් විමසුවේ, හොඳින් කා බී සිටින මිනිසුන් හට භෝජන සංග්‍රහ පැවැත්වීමේ අවශ්‍යතාවය කුමක්ද යන්නයි. එසේම ඉෆ්තාර් භෝජනයක් සඳහා වැය වන මුදල ගණන් බලන ලෙස ද ඔහු සිය ලේකම්ට කීවේය.
ඒ සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 22 ක් පමණ වැය වන්නේ යැයි ලේකම් නායිර් ආපසු පැමිණ දැනුම් දුන්නේය.
එවිට ආචාර්ය කලාම් සිය ලේකම්වරයාට දැනුම් දුන්නේ එම මුදල අනාථ නිවාස කිහිපයක් සඳහා වෙන් කරන ලෙස ය. එම අනාථ නිවාස තෝරාදීම රාෂ්ට්‍රපති භවනේ කාර්ය මණ්ඩලයට පැවරිණි. ඒ සඳහා ජනාධිපති කලාම් කිසිම මැදහත් වීමක් කළේ නැත. එම අනාථ නිවාසවලට ඇඳුම්, ඇඳ ඇතිරිලි සහ ආහාර මිලදී ගෙන ඒවා ගෙන යාමේ වගකීම පැවරුණේද පෙර කී ජනාධිපති ලේකම්වරයාට ය.
සියල්ල සංවිධානය කර අවසන් වූ පසු ආචාර්ය කලාම් ඔහු ව කැඳවා සිය පුද්ගලික බැංකු ගිණුමෙන් ලියූ රුපියල් ලක්ෂයක චෙක් පතක් දුන්නේය. දැන් ලක්ෂ 23 ක් අනාථ නිවාස වෙනුවෙන් වැය කළ හැක. නායිර් මහත් වික්ෂිප්ත භාවයට පත්විය. ‘‘සර්, මම මේක හැමෝටම කියනවා. මිනිස්සු දැනගන්න ඕනෙ, තමන්ට වියදම් කරන්න නියම වෙලා තියෙන මුදල්වලින් විතරක් නෙවෙයි, තමන්ගෙ පුද්ගලික ධනයත් ජනතාවට දෙන නායකයො ඉන්නව කියලා..“ යැයි නායර් කීය.
‘‘කිසිම කෙනෙකුට කියන්න අවශ්‍ය නැහැ“ යන්න ආචාර්ය අබ්දුල් කලාම්ගේ පිළිතුර විය.
බැතිමත් මුස්ලිම් භක්තිකයෙකු වුවද ආචාර්ය අබ්දුල් කලාම්, සිය නිල කාලය තුළ කිසිම ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් රාෂ්ට්‍රපති භවන් හි පැවැත්වූයේ නැත. එවැනි දේ ඔහු දුටුවේ මහජන මුදල් නාස්තියක් ලෙස ය.
‘යස් සර්‘ කියන ජාතියේ අයට අබ්දුල් කලාම් කිසිවිටෙක කැමති වූයේ නැත. වරක් ඉන්දියාවේ අගවිනිසුරුවරයා කලාම් මුණ ගැසී යම් ප්‍රශ්නයක් සාකච්ඡා කළේය. ඒ පිළිබඳ සිය අදහස දැක්වූ ජනාධිපතිවරයා, නායිර් දෙසට හැරී ‘‘ඔබ මේකට එකඟදැයි‘ ඇසුවේය.
‘‘නැහැ, සර්. මම එකඟ නැහැ“ යැයි නායිර් පැවසුවේය. අගවිනිසුරුවරයා සිය දෙසවන් අදහාගත නොහැකිව බලා සිටි අන්දම පැහැදිලිව පෙනුණි.
රටේ සිවිල් සේවකයෙකුට සිය විසම්මුතිය ජනාධිපතිවරයාගේ මුහුණටම කියා දැමීමට තරම් ධෛර්යයක් සහ නිදහසක් ආචාර්ය අබ්දුල් කලාම් ලබාදී තිබුණේ එසේ ය.
ඉන්පසු අබ්දුල් කලාම්, නායිර්ගෙන් අසා තිබුණේ ඔහු එයට එකඟ නොවන්නේ මන්ද කියා ය. මෙවැනි අවස්ථාවලදී සාධාරණ සහේතුක හේතුවක් දක්වන්නේ නම් අබ්දුල් කලාම් ඉතාම නිහතමානී ලෙස සිය මතය වෙනස් කර ගත්තේය.
වරක් ආචාර්ය කලාම් සිය ඥාතීන් 50 දෙනෙකුට රාෂ්ට්‍රපති භවන් වෙත ඇරයුම් කළේය. ඔවුන් සියලුම දෙනා නවාතැන් ගත්තේ ද එහි ය. කලාම් ඔවුන්ට නගරයේ සිරි නැරඹීමට යාම සඳහා බස් රියක් ඇණවුම් කළේය. කිසිදු අවස්ථාවක නිල මෝටර් රථ යනාදිය භාවිතා කළේ නැත. අවසානයේ ඔවුන්ගේ සියලු වියදම් ගණනය කළ විට එය රුපියල් ලක්ෂ 2කට අධික බව පෙනුණි. කලාම් වහාම සිය පුද්ගලික වත්කම්වලින් එම මුදල ගෙවා දැමුවේය. ඉන්දියාවේ පමණක් නොව ලංකාව ද ඇතුළුව බොහෝ රටවල මෙසේ වන්නේ නැත!
ක්‍රමයෙන් අබ්දුල් කලාම්ගේ නිල කාලය අවසන් වී ඔහු රාෂ්ට්‍රපති භවන හැර යන දිනයට පෙර දිනය එළඹුණේය. එහි කාර්ය මණ්ඩලය සිය පවුල් පිටින් පැමිණ නායකයාගේ දෙපා නමැද කඳුළු සළමින් ඔහුට සමු දුන්හ. මේ අතර ලේකම් නායිර් තනිව ගියේ හදිසි අනතුරක් හේතුවෙන් ඇති වූ අස්ථි බිඳීමක් නිසා ඔහුගේ බිරිඳ ලෙඩ ඇඳේ සිටි හෙයිනි. තනිව ආවේ මන්දැයි අබ්දුල් කලාම් ඇසූ විට නායිර් ඇය ගිලන්ව පසුවන බව කීවේය. පසුදින උදා විය. නායිර්ගේ නිවස වට කරමින් පොලිස් නිලධාරීන් රාශියක් සිටින බව පෙනිණි. ඔහු පුදුමයට පත් විය. ඒ පිළිබඳ සොයා බලන විට පොලිස් භටයන් කීවේ, ‘‘ඉන්දියාවේ ජනාධිපතිතුමා මේ ගෙදරට එනවා“ කියා ය. මද වේලාවකට පසු අති සරල අබ්දුල් කලාම්, නායිර්ගේ නිවසට පැමිණ බිරිඳගේ සුවදුක් විමසමින් මද වේලාවක් ඇය සමග කතා බස් කර නික්ම ගියේය.
වරක් ආචාර්ය කලාම් සිය සහෝදරයා ජනාධිපති මන්දිරය වෙත ගෙන්වා ගත්තේය. කලාම්ගේ ඉල්ලීම අනුව ඔහු පුරා සතියක් කලාම්ගේ කාමරයේ නවාතැන් ගෙන සිටියේය. ඔහු ආපසු ගිය විට ආචාර්ය කලාම්ට උවමනා වුණේ කාමර කුලිය ගෙවා දමන්නට ය! සිතන්න! තමන් ද ජීවත් වන කාමරය තවත් කෙනෙක් සමග බෙදාගත් පසු, අනෙකාගේ අමතර වියදම වෙනුවෙන් කාමරයේ කුලිය ගෙවන්නට සිතන ජනාධිපතිවරයෙක්..!
ආචාර්ය අබ්දුල් කලාම් වැනි ශ්‍රේෂ්ඨයන් සහ සරල මිනිසුන් ලොව බිහිවන්නේ කලාතුරකිනි. එවැනි චරිත ලොව ‘නැවත නැවත‘ බිහිවන්නේ ඊටත් වඩා කලාතුරනිකි. එය ආසියාවේ අපි, දිනපතා අත්දකින සත්‍යයකි.
පසු සටහන : ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාවේ ජනාධිපතිව සිටියදී ජනාධිපති ලේකම්වරයා වූයේ පී.එම්. නායිර් ය. ඔහු ‘කලාම් ඉෆෙක්ට්‘ නමින් සිය නායකයා පිළිබඳ පොතක් ද ලීවේය. මේ ලිපිය සැකසුණේ පී.එම්. නායිර්, ආචාර්ය අබ්දුල් කලාම් පිළිබඳ දැක්වූ අදහස්වලිනි.