×

CIA සහ තලෙයිබාන් අතර රහස් සාකච්ඡා

ඇමරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවය (CIA) සහ තලෙයිබාන් සංවිධානයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු අතර කාබුල් අගනුවරදී පසුගියදා රහස් සාකච්ඡාවක් පැවැත්වී තිබේ.


CIA සංවිධානය වෙනුවෙන් විලියම් බර්න්ස් සහ තලෙයිබාන් සංවිධානය වෙනුවෙන් මුල්ලා බරාදර් අතර පැවති මෙම සාකච්ඡා ගැන මුලින්ම අනාවරණය කළේ ඇමරිකානු මාධ්‍ය විසිනි. New York Times, Washington Post, Associated Press යන පුවත් මූලාශ්‍ර සම්බන්ධයෙන් කීර්තියක් උසුළන මාධ්‍ය ඒ අතර විය. මේ අතර වොෂින්ටන් පෝස්ට් වාර්තා කර තිබෙන්නේ අගෝස්තු 31 වැනිදාට යෙදී තිබෙන, ඇමරිකානු හමුදාව රටෙන් ඉවත් කර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් කතා බහ කෙරුණු බවයි. මේ වන විට බ්‍රිතාන්‍ය හමුදාවද, අගෝස්තු 31 වැනිදායින් පසුත් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට තමන්ට අවශ්‍ය බව පවසා ඇත.

කෙසේ නමුත් ඒවායේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මෙම පාර්ශවයන් කිසිවක් විසින් තහවුරු කර නැත.

අගෝස්තු 15 වැනිදා කාබුල් නුවර අල්ලා ගැනීමෙන් පසු දෙපාර්ශවය අතර පැවති වැදගත්ම සාකච්ඡාව ලෙස මෙය සැලකේ.

කාබුල් ගුවන් තොටුපොළේ තවමත් ඇමරිකානු හමුදා සාමාජිකයන් 5,800 ක් දෙනා පමණ රඳවා සිටිති. දහස් ගණන් දෙනා තවමත් රටෙන් පිට වී යාමට උත්සාහ කරති.

තලෙයිබාන් නිර්මාතෘවරයෙක්

මෙම සාකච්ඡාවට තලෙයිබාන් පාර්ශවයෙන් සම්බන්ධ වූ බව කියන මුල්ලා බරාදර්, 1994 වසරේ ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය බිහි කළ නිර්මාතෘවරුන් 4 දෙනාගෙන් එක් අයෙකි.

2010 වසරේදී ඇමරිකානු හමුදාව විසින් දියත් කළ මෙහෙයුමකදී පාකිස්ථාන හමුදාවේ ද සහාය ඇතිව පාකිස්ථානයේදී ඔහුව අල්ලා ගැනිණි. අනතුරුව ඔහු වසර 8 ක සිර දඬුවමක් විඳ තිබේ.

2019 වසරේ පටන් මුල්ලා බරාදර්, කටාර් හි පිහිටා තිබූ තලෙයිබාන් මූලස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත. 2020 පෙබරවාරි මාසයේදී ඇමරිකාව සහ නේටෝ හමුදාව අතර අත්සන් කෙරුණු, ඇමරිකානු හමුදාව ඉවත් කර ගැනීමේ ‘දෝහා ගිවිසුම‘ට අත්සන් කළ අයෙකු ලෙස ද ඔහු සැලකේ.

2020 වසරේදී හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සෘජු දුරකථන සම්බන්ධතා පවත්වා ගනිමින්, ඇමරිකානු නායකයෙකු සමග සෘජුව කතා බහ කළ පළමු තලෙයිබාන් නායකයා ලෙස සැලකෙන්නේ ද ඔහු ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි