×

බැරිම තැන ස්කොට් මොරිසන් කට අරී, ලැව්ගිනි මර්දනයට ජාතික මට්ටමේ විමර්ශනයක්!

දේශගුණික ප්‍රතිචාරය හා ලැව්ගිනි අතර පවතින අනුලෝමය ආමන්ත්‍රණය කිරීමට ඕස්ට්‍රේලියානු රජය තවදුරටත් අසමත් වන්නේ නම් රාජකීය කොමිසම ද නුුදුරේදී ම බොල් පොලවේ අට්ටාල ගැසීමක් බවට පත් වනු ඇත.


ඕස්ට්‍රේලියාවේ අහිතකර දේශගුණ තත්ත්ව මත හටගත් අධික නියඟය හා ලැව් ගිනි තුළින් සිදුවූ වන විනාශය කියා නිම කළ නොහැකිය.

මින් කෘෂිකර්මාන්තය, වන සම්පත පමණක් නොව මනුශ්‍ය ජීවිත ද අහිමි විය.

ලැව්ගිනි තත්ත්වය නිසා රට අභ්‍යන්තරයේ පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේද ඕස්ට්‍රේලියානු රජය ප්‍රභල විවේචනයකට තුඩු දිණි.

ලැව්ගිනි හට ගැනීම තුළ එම තත්ත්වය මඟහරවා ගැනීමට අසමත් ව නිමක් නැති කුණු බැනුම් ඇසීමට සිදුවූ  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය සිය හඬ යළි අවධි කර ඇති පුවතක් වාර්තා වේ.

ඒ අනුව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා අද (12) දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ලැව්ගිනි ප්‍රතිචාරයට ජාතික මට්ටමේ විමර්ශනයක් දියත් කරන බවයි.

ලැව්ගිනි තත්ත්ව මත මේ වන විට වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 28ක් වේ.

ඊයේ (11) දින ගිනි නිවන භටයකු ලැව්ගිනි මර්දනය කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත්වූ බවට වාර්තා විණි.

ඕස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වය නිරයට කැප වී තිබෙන මේ මොහොතේ, මිනිසුන් හට නිවාස 2000 ක් අහිමි ව අවතැන් වී සිටින මේ මොහොතේ, අගමැති මොරිසන් හට රට වැසියන් ගෙන් පමණක් නොව පාර්ශව ගණනාවකට ම පිළිතුරු බැඳීමට සිදුව තිබේ.

ඒ අනුව ඔහු අද දින නිකුත් කළ නිවේදනයෙන් පවසා සිටියේ ඉහළ අධිකරණ විමර්ශන ක්‍රියාවලියක් මේ පිළිබඳ දියත් කිරීමට තමා අපේක්ෂා කරන බවයි.

මෙම ක්‍රියාවලිය හඳුන්වනු ලබන්නේ රෝයල් කමිෂන් යනුවෙනි. මේ තුළින් රටේ ජාතික ගැටළු සම්බන්ධ විමර්ශන සිදුවේ.

මොරිසන් ගේ අපේක්ෂාව වී තිබෙන්නේ ලැව් ගිනි ජාතික ගැටළුවක් සේ සලකා රෝයල් කමිෂන් ක්‍රියාත්මක කිරීමට ය.

 

ඇයි මෙතකං කට වහන් හිටියේ?

එහෙත් ජනතාවට ඇසීමට පැණයක් තිබේ……

ඒ, බලාන සිටියදී ඕස්ට්‍රේලියාවේ උෂ්ණත්වය ඉහළ යද්දී, නියං තත්ත්වයෙන් පීඩා විඳිද්දී, කෘෂිකර්මාන්තය විනාශ වද්දී, මිලියන ගණන් වන සම්පත සංහාරයක් බඳු තුරන් වී යද්දී මොරිසන් සිටියේ කොහේද යන්නයි.

වරක ස්කොට් මොරිසන් ලැව්ගිනි වලින් පීඩාවට පත්වූ ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ගිය මොහොතකදී අසැබි වචනයෙන් බැණ හෙලවා දැමීමට පුද්ගලයින් කටයුතු කළ අන්දම අපි දුටුවෙමු.

ස්කොට් මොරිසන් සංවේදී වන්නේ මනුශ්‍ය සංහාරයට පමණක් ද යන ගැටළුව මතු ව තිබේ. මේ වන විට ලැව්ගිනි තත්ත්ව මත අහිමි වූ පුද්ගල මරණ සංඛ්‍යාව 28 කි. තවත් පුද්ගල මරණ සිදුවූයේද යන්න පැවසීමට අප නොදන්නෙමු.

ජාතික ගැටළුවක් ඉදිරියේ අතිශය අසාර්ථක දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි ස්කොට් මොරිසන්ගේ ඇස් දැන් විවර වී තිබෙන්නේ ඊයේ දින වාර්තා වූ පුද්ගල මරණය නිසාද?

ඊයේ දින ජීවිතයට සමුදුනු ගිනි නිවන භටයා මියගියේ ජාතික වීරයකු ලෙසිනි. ලැව් ගිනි හට ගැනීම තුළ තත්ත්වය පාලනය කිරීමට ගිනි නිවන භටයින් යෙදවීමට ඕස්ට්‍රේලියානු රජය ක්‍රියා කර තිබිණි.

මීට අමතරව අවතැන් වූ ජනතාවගේ මානසික සුවය පිණිස සෞඛ්‍ය සේවා ද දියත් කර තිබිණි.

එහෙත්.. එයම ප්‍රමාණවත් ද? දේශගුණික විපර්යාස හමුවේ පරිසර වේදීන් මෙපමණ හඬක් නඟා තිබියදී ස්කොට් මොරිසන් සිටියේ නිදිබරිතව ද?

වරක මොරිසන් ප්‍රකාශ කර සිටියේ දේශගුණික විපර්යාස හා ලැව්ගිනි අතර සබඳතාවක් නොමැති බවයි.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි තත්ත්ව මත විනාශ වූ භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 10.3 කි. එය ප්‍රමාණයෙන් සමස්ත දකුණු කොරියාව හා සමානය.

ලැව්ගිනි යනු හුදෙක් වනසම්පත පිළිබඳ ගැටළුවක් නොව ජාතික ගැටළුවක් බවට ස්කොට් මොරිසන් ට මේ මොහොතේ හෝ වැටහීම පැසසිය යතුය.

එහෙත් දේශගුණික ප්‍රතිචාරය හා ලැව්ගිනි අතර පවතින අනුලෝමය ආමන්ත්‍රණය කිරීමට ඕස්ට්‍රේලියානු රජය තවදුරටත් අසමත් වන්නේ නම්,

රෝයල් කමිෂන් දියත් කිරීමේ පරමාර්තය ද නුුදුරේදී ම බොල් පොලවේ අට්ටාල ගැසීමක් බවට පත් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි