×

මීළඟ ගෝලීය වසංගතයේ ඇරඹුම ඊශ්‍රායලයේ කුරුළු උණ ද? මිනිසුන්ටත් බෝ වීමේ අවදානමක්

ඊශ්‍රායලයෙන් මේ වන විට කුරුළු උණ වසංගතයක් හිස ඔසවමින් තිබෙන අතර, එය මිනිසුන්ට ද අවදානම් මට්ටමකට ඔඩු දුවා තිබෙනවා.


මේ වන විට වසංගතය පැතිරීම වළක්වා ගැනීම පිණිස පක්ෂීන් 5200 දෙනෙක් පමණ මරා දැමීමට සිදුව ඇති බවත් වාර්තා වෙනවා. උන් සංක්‍රමණික කොකුන් විශේෂයක් බව ද සඳහන්.

මේ වසංගත තත්වය පැතිර යන්නේ සංක්‍රමණික පක්ෂීන් හරහායි. සෑම වසරකම කොකුන් ලක්ෂ 5 ක් පමණ අප්‍රිකාවට සංක්‍රමණය වන්නේ ඊශ්‍රායලය පසු කරමින්. උන්ගෙන් වැඩි පිරිසක් සිය ගමනාන්තය වන අප්‍රිකාව වෙත ළඟා වන විට සුළු පිරිසක් ඊශ්‍රායලයේ නතර වන ආකාරය දැකගත හැකියි. මේ වසරේ කුමන හෝ හේතුවක් නිසා මෙසේ නතර වූ පක්ෂි ගහණය 30,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගතය පැතිර යන්නේ එම ගහණය තුළයි.

මේ අතර, ඊශ්‍රායල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ කුකුළන් ලක්ෂ 7 ක් පමණ මරා දැමීමට ද තමන් කටයුතු කළ බවයි. ඊශ්‍රායලය තුළ වසංගය පැතිර යාම වැළැක්වීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බව ද ඔවුන් පවසා තිබෙනවා.

ඊශ්‍රායල ඉතිහාසයෙන් වාර්තා වන මාරකම පරිසර විපත මෙය බව ද සඳහන්.

මිනිසුන්ට දැඩි අවදානමක්

ලෝකය කෝවිඩ්-19 සෙවණැල්ල තුළ දිවි ගෙවන මේ කාලයේදී බොහෝ දෙනාගේ අවධානය වෛරස් වසංගත වෙත යොමු ව තිබෙනවා. මේ නිසා ඊශ්‍රායලයෙන් මේ සම්බන්ධයෙන් වාර්තා වන නවතම පුවත් දෙස බොහෝ දෙනා සෝදිසියෙන් බලා සිටිනවා. මෙම පුවත මුල් වරට වාර්තා වී දින කිහිපයක් ඇතුළත එනම් අද වන විට වාර්තා වන්නේ, ඊශ්‍රායල් විද්‍යාඥයන් මෙම වසංගතය පක්ෂීන්ගෙන් මිනිසුන්ට බෝ විය හැකි බවට අනතුරු අඟවා තිබෙන බවයි.

ඒ අනුව මිය ගිය පක්ෂීන් සමීපයට නොයන ලෙසටත්, ප්‍රමිතිකරණයෙන් තොර බිත්තර සහ කුකුළු මස් මිලදී නොගන්නා ලෙසත් අවවාද කර තිබෙනවා.

මේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ ඊශ්‍රායලයේ ප්‍රජා සෞඛ්‍යය පිළිබඳ ජාතික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අම්නන් ලහාඩ් විසින්.

”වෛරසය වෙනත් පක්ෂී විශේෂ අතරට දැනටමත් පැතිර ගොස් තිබෙනවා වෙන්නට පුළුවන්. කැලෑ පක්ෂීන්ගෙන් ආරම්භ වී මෙය මිනිස් පරිභෝජනය සඳහා ඇති කරන කුකුළන් ආදී සතුන් වෙත දැනටමත් පැතිර තිබෙනවා වන්නට පුළුවන්..” යැයි ඔහු සඳහන් කරනවා.

සාමාන්‍යයෙන් කුරුළු උණ වසංගතය මිනිසුන්ට බලපාන්නේ කලාතුරකින්. නමුත් පටන් කුරුළු උණ වෛරස් කාණ්ඩයේ H5N1වෛරසය 1997 වසරේදී (හොංකොං), 2013 වසරේ පටන් H7N9, 2014 වසරේ පටන් H5N6 සහ 2016 වසරේ පටන් H5N8 යන වෛරස 4 මිනිසුන් වෙත ආසාදනය වී තිබෙනවා.

කෝවිඩ්-19 මෙන්ම මෙම කුරුළු උණ වෛරසත් මිනිස් ශරීරයට ඇතුල් වන්නේ ශ්වසන පද්ධතිය හරහායි. එය කොරෝනා වෛරසය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා තත්වයන් ඇති කිරීමට සමත්.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය ද ඊශ්‍රායලයේ කුරුලු උණ වසංගතය වෙත යොමු ව තිබෙනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි