×

ළමා අපයෝජන නඩුවෙන් මැක්ස්වෙල් වැරදිකාරිය වෙද්දී බීබීසියෙන් පාපොච්ඡාරණයක්!

ඩෙර්ෂොවිට්ස් අපක්ෂපාතී විශ්ලේෂකයකු ලෙස සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් අපට සමාවෙන්න - බීබීසී පුවත් සේවය


ඉකුත් දෙසැම්බර් 30 වන දින, බාලවයස්කාර දැරියන් ලිංගික ජාවාරම්වල යෙදවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බ්‍රිතාන්‍යයේ ප්‍රභූ පවුලකට උරුමකම් කියන ගිස්ලේන් මැක්ස්වෙල් නම් තැනැත්තිය එම චෝදනා වලට වරදකාරිය බවට පත්වූවාය.

90 දශකයේ කුප්‍රකට ඕ.ජේ සිම්ප්සන් නඩුව මෙන් 2000 න් පසු කාලවකවානුවේ ලොවක් නෙත යොමාගෙන සිටි අතිශය ප්‍රසිද්ධ නඩුකටයුත්තක් බවට ගිස්ලේන් මැක්ස්වෙල් නඩුව පත්ව තිබිණ.

මේ සම්බන්ධයෙන් බීබීසී පුවත් සේවයට සිදුකිරීමට පාපොච්ඡාරණයක් තිබේ!

බීබීසී පුවත් සේවය නිවේදනයක් නිකුත් කරමින් ඇලන් ඩෙර්ෂොවිට්ස් නම් යුදෙව් ඇමරිකානු නීතීඥයා සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.

ඇලන් ඩෙර්ෂොවිට්ස් යනු කවුද?

ගිස්ලේන් මැක්ස්වෙල් නඩුවට ඩෙර්ෂොවිට්ස් සම්බන්ධ වන්නේ ජෙෆ්රි එඩ්වඩ් එප්ස්ටෙයින් හරහා ය. කුඩා දැරියන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවක් වූ ජෙෆ්රිට කුඩා දරුවන් සැපයීම සඳහා ක්‍රියාකර තිබුණේ මැක්ස්වෙල් ය.

මෙම ලිංගික ජාවාරමට සෘජු සම්බන්ධතාවයක් දරන බවට ඇලන් ඩෙර්ෂොවිට්ස් ට චෝදනා ගොනුවී තිබේ. ජෙෆ්රි කුඩා දැරියන් ලිංගික ජාවාරමේ යෙදවීම සම්බන්ධයෙන් ඩෙර්ෂොවිට්ස් දැනුවත් වී සිටි බවත්, තමාගේ ලිංගික ආශාවන් පිනවීම සඳහා ද ජෙෆ්රි හරහා දැරියන් ගෙන්වා ගැනීමට මොහු කටයුතු කළ බවත් ඩෙර්ෂොවිට්ස් ට ගොනුවී ඇති චෝදනා වේ.

ගිස්ලේන් මැක්ස්වෙල් නඩුවේ වින්දිත පාර්ශවයේ සාක්ෂිකාරියක වූ වර්ජිනියා ජුෆ්රෙ ඩෙර්ෂොවිට්ස් ට එරෙහිව සාක්ෂි ලබා දී තිබේ.

මීට අදාළවයි බීබීසී පුවත් සේවය ජනතාවගෙන් සමාව අයැද සිටින්නේ. ඉකුත් අවස්ථාවක මෙම නඩු කටයුත්ත සම්බන්ධයෙන් බීබීසී පුවත් සේවය ඩෙර්ෂොවිට්ස් සම්මුඛ සාකච්ඡාවකට කැඳවා තිබේ.

ඩෙර්ෂොවිට්ස් අපක්ෂපාතී විශ්ලේෂකයකු ලෙස සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ කර ගැනීම හරහා බැඳියා ගැටුමක් නිර්මාණය වී ඇති බවත්, ඔහු වන් පුද්ගලයන් සම්මුඛ සාකච්ඡා වලට සම්බන්ධ කර ගැනීම සුදුසු නොවන බවත්, එසේ සම්බන්ධ කර ගැනීමේදී ඔහුගේ පසුබිම් කතාව ජනතාවට හෙළි නොකිරීම වරදක් බවත් බීබීසී පුවත් සේවය පිළිගෙන තිබේ.

ඉකුත් 2020 වර්ෂයේදී ජෙෆ්රි එප්ස්ටෙයින් පිළිබඳව නෙට්ෆ්ලික්ස් නාලිකාව විසින් කෙටි ටෙලිනාට්‍යමාලාවක් ද (Jeffrey Epstein: Filthy Rich) තිරගත කළ අතර, එම කතාමාලාව හරහා මෙම ඇලන් ඩෙර්ෂොවිට්ස් නම් තැනැත්තා වර්ජිනියා ජුෆ්රෙ නම් වින්දිත කාන්තාව අවම වශයෙන් සය වතාවක් වත් අපයෝජනයට ලක්කළ බවට අනාවරණය කරයි.

කෙසේවෙතත්, ඩෙර්ෂොවිට්ස් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටී. තමාට එරෙහිව මෙසේ චෝදනා එල්ල කළ සියල්ලන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පවසා තිබේ.

මීට පෙර 2008 වර්ෂයේදී ජෙෆ්රි එප්ස්ටෙයින්ට එරෙහිව ගොනුවූ පළමු අපරාද නඩුවේදී ඩෙර්ෂොවිට්ස් ඔහු වෙනුවෙන් පෙනී සිට තිබේ. එමෙන්ම, හාවි වෙයින්ස්ටයින්ගේ ලිංගික අපයෝජන නඩුව, හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පළමු දෝශාභියෝග නඩුව වැනි විවිධ ප්‍රභූ පැළැන්තියේ නඩුකටයුතු වලදී අපකීර්තියට පත් පුද්ගලයන් කිහිප දෙනෙකුටම නීති උපදෙස් ලබා දුන් පුද්ගලයෙකි ඩෙර්ෂොවිට්ස්.

90 දශකයේ නිකෝල් බ්‍රවුන් සිම්ප්සන් ඝාතනය සම්බන්ධ ඕ.ජේ සිම්ප්සන් නඩුවේදී ද විත්තිකරු ගේ අභියාචනා උපදේශකයකු ලෙස ඩෙර්ෂොවිට්ස් කටයුතු කර තිබේ.

බීබීසීය අතිවිශිෂ්ට අන්දමින් මාධ්‍ය සදාචාරය රකින මාධ්‍ය ආයතනයක් නොවේ. මීට ඉහත දිනකදී සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් පිළිබඳව ඉතාම වැරදි පණිවුඩයක් සමාජගත කරන අන්දමේ මාධ්‍ය ආවරණයක් ලබා දීම සම්බන්ධයෙන් ද බීබීසීයට චෝදනා ගොනුවී තිබිණ. පර්යේෂණ පත්‍රිකාවක් යැයි හැඳින්වූ ලේඛනයක් උපුටා දක්වමින් බීබීසීය පවසා සිටියේ කාන්තාවන් සමඟ ප්‍රේම සබඳතා පවත්වන සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන්, හෙවත් ට්‍රාන්ස්-ලෙස්බියන් කාන්තාවන්, ඔවුන්ගේ පෙම්වතියන් සමඟ ලිංගිකව හැසිරීමට බලකරන බවට සොයාගෙන ඇති බවයි. මෙම මාධ්‍ය ආවරණයට මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රභල විරෝධයක් එල්ල වූ අතර, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව බැඳි අපකීර්තිය ප්‍රවර්ධනය කිරීමට බීබීසී ආයතනය කටයුතු කරන බවට ඔවුන් චෝදනා කර තිබිණ. මෙම චෝදනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා විනා කිසිඳු නම්‍යශීලී බවක් පෙන්වීමට බීබීසීය කටයුතු කළේ නැත.

කෙසේවෙතත්, පැණිකරුවන්, මුට්ටිකරුවන් හා ජලයෙන් මතුවන නාගයන් හට මාධ්‍ය ආවරණය ලබා දෙමින් මිත්‍යාව පෝෂණය කරන ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන වලට නම් බීබීසියෙන් උගනීමට පාඩම් රැසක් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි