×

දේශගුණික විපර්යාසයත් ‘මාක්ස්වාදී කුමන්ත්‍රණයක්‘ යැයි සිතන – බ්‍රසීලයේ අරුම පුදුම විදේශ ඇමති

මේ කතාව, දේශගුණික විපර්යාස, ‘මාක්ස්වාදී කුමන්ත්‍රණයක්‘ යැයි සිතන බ්‍රසීලයේ නව විදේශ අමාත්‍යවරයා පිළිබඳව ය.


බ්‍රසීලයේ නව විදේශ ඇමති අර්නස්ටෝ අරෝජෝ ය. (Ernesto Araújo) ඔහු බ්‍රසීලයේ නව ජනපති, අන්ත දක්ෂිණාංශික ජටර් බොල්සොනාරෝ (Jair Bolsonaro)ටම ගැළපෙන අයෙකි. දෙදෙනාටම තිබෙන්නේ එකම ජාතියේ අදහස් ය. මේ දෙදෙනාටම පරිසර සංරක්ෂණය ඇලජික් ය. ලෝකයේ පෙණහැල්ල යැයි විරුදාවලි ලත් ඇමසන් වනය කපා දැමිය යුතු යැයි දෙදෙනාම සිතති. සමරිසි අයිතිවාසිකම් ගැන කතා කරන විට ද දෙදෙනාටම තරහ යයි.

මේ අතරින් විදේශ ඇමතිවරයා බොල්සොනාරෝට ද වඩා දුර යන බව පෙනේ. මේ දෙදෙනාම වාමාංශිකයන් නුරුස්සන්නේ ඔවුන් අන්ත දක්ෂිණාංශිකයන් නිසා පමණක් නොවේ. අන් මත හෝ විසම්මුතිය ද ඉවසීමට අකමැති නිසා ය.

දේශගුණික විපර්යාස අද වන විට මුළු ලෝකයේම කතා බහට ලක් වී ඇති මාතෘකාවකි. දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා මිනිස් පැවතුම් වෙනස් කර ගැනීම කෙරෙහි ලෝකයේම අවධානය යොමු වී ඇත. බොල්සොනාරෝ යන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අඩි පාරේ ය. ඩොනල්ඩ් ට්‍රම්ප් වරක් පැවසුවේ, ‘‘දේශගුණික විපර්යාස කියා දෙයක් මේ ලෝකයේ නැති බව‘ ය. එනම් එය හිතලුවක් බවත්, විද්‍යාඥයන් බොරුවට කලබල කරන බවත් ඔහු කීවේය. දැන්, බොල්සොනාරෝගේ ගෝලයා වන අර්නස්ටෝ ඊටත් එහා ගිය දෙයක් කියයි. ඔහු කියන්නේ දේශගුණික විපර්යාස, මාක්ස්වාදී කුමන්ත්‍රණයක් (Marxist plot) බව ය!

එයින් නොනැවතී ඔහු සිතන්නේ, මෙය සංස්කෘතික මාක්ස්වාදීන්ගේ කුමන්ත්‍රණයක කොටසක් බව ය. ඒ කුමන්ත්‍රණය, බටහිර ආර්ථිකයන් කඩාකප්පපල් කිරීමට සහ චීනයේ අණසක පතුරුවාලීම සඳහා කරන දෙයක් ලෙසට ද ඔහු දකියි. චීනය මාක්ස්වාදී රටක් යැයි පෙනෙන හෙයින්, මෙය හොඳින් හිතාමතා කරන ලද්දක් බව ද ඔහු සිතයි.

අර්නස්ටෝ මෑතක් වන තුරුම මැද පෙළ නිලධාරියෙක් පමණක් විය. ඊට අමතරව ඔහු විසින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය අතර, එහිදී ඔහු රතු මස් සඳහා සතුන් මැරීම අපරාධයක් සේ සැලකීම ගැන බෙහෙවින් දුක් විය. තෙල් සහ විෂමලිංගික සබඳතා ගැන ද ඔහු බ්ලොග් ලිව්වේය. ඔහුගේම වචනවලින් කියන්නේ නම් ඔහු බ්ලොග් ලිව්වේ, ‘බ්‍රසීල ජනතාවට ගෝලීයකරණ පරමාදර්යෙන් විමුක්තිය ලැබීමට උදව් කිරීම‘ සඳහා ය. ගෝලීයකරණය ක්‍රිස්තියානි විරෝධී සංකල්පයක් ලෙස ද ඔහු සිතයි.

ඔහු බ්‍රසීලයේ වාමාංශික ප්‍රතිපත්ති විවේචනය කරන්නේ උමතුම ආකාරයකට ය. උදාහරණයක් වශයෙන් ස්ත්‍රී දූෂණය අපරාධ වරදක් ලෙස සැලකීමට ඔහු අකමැති ය. ඔහු කියන්නේ එය ද වාමාංශික කුමන්ත්‍රණයක් බවයි. ‘‘ස්ත්‍රී දූෂණය සාපරාධී කිරීම කරන්නේ විෂමලිංගික සබඳතා අපරාධයක් බවට පත් කිරීමයි‘‘යැයි වරක් ඔහු ලියා තිබේ.

නමුත් මේ වනවිට ඔහු දකුණු ඇමරිකාවේ, මිලියන 20 ක ජනතාවක් වෙසෙන විශාලතම රටේ විදේශ කටයුතු ඇමතිවරයා ලෙස තෝරාගෙන තිබේ. ඔහු ලෝකය සමග සබඳතා පවත්වනු ඇත්තේ ඒ පටු හා අන්තගාමී අදහස් සමග ය. ඒ මදිවාට ඔහු මීට කලින් විදේශ කටයුතු පිළිබඳ කිසිදු පළපුරුද්දක් තිබෙන අයෙක් නොවේ. අවම වශයෙන් තානාපතිවරයෙක්වත් නොවේ.

ලෝකයේ විශාලතම ජෛව විවිධත්වයෙන් යුත් වනාන්තරය වන ඇමසන් වනයෙන් වැඩි කොටස පිහිටා තිබෙන්නේ බ්‍රසීලය තුළ ය. බොල්සොනාරෝ විසින් ඇමසන් වනය හෙළිපෙහෙළි කරමින් එය ‘සංවර්ධනය‘ සඳහා අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධ කිරීම සහ, විදේශ ඇමතිවරයා වශයෙන් පරිසරයට කිසිසේත්ම ආදරය නොකරන අයෙක් පත්කිරීම මගින්, ගෝලීය දේශගුණික ව්‍යාපාරයට මරු පහරක් එල්ල වෙතැයි දැනටමත් සැක බිය පහළ වී තිබෙන්නේ මේ තත්වය යටතේ ය.

බ්‍රසීලය මේ තාක් කල්, ගෝලීය පරිසර හෝ දේශගුණික ව්‍යාපාරයේ හදවත වශයෙන් සැලකුණේය. වෙනකක් තබා, අන්තර්ජාතික ප්‍රජාව මුල්ම වරට ලෝකයේ හරිතාගාර වායු විමෝචනය අඩු කර ගන්නේ කොහොමදැයි එක්රොක් වී කතා කරන්නට 1992 වසරේදී තෝරාගත්තේ ද බ්‍රසීලයයි. 2015 පැරිස් සමුළුවේදී අත්සන් තැබුණු පැරිස් පාරිසරික එකඟතාවයන් සඳහා වැඩ කිරීමේදී ලෝකයේ ධනවත් රටවල් සහ දුප්පත් රටවල් අතර පරතරය අඩු කිරීම සඳහා කැපවී වැඩ කළේ ද බ්‍රසීලයයි. නමුත් මේ වන විටත් ට්‍රම්ප් මෙන්ම තමන් ද පැරිස් සම්මුතියෙන් ඉවත් වන බවට බොල්සොනාරෝ විසින් කිහිප වරක් තර්ජනය කර තිබේ.

බොල්සොනාරෝ බ්‍රසීලයේ ජනපති තනතුරට පත් වන්නේ ඡන්ද මිලියන 57.7 කිනි. හිටපු හමුදා කපිතාන්වරයෙකු වන ඔහු, ජනවාරි මාසයේ ලද ජයග්‍රහණයෙන් පසු මේ දක්වා සිදුකර තිබෙන්නේ ලෝකයේ වඩාත්ම අන්ත දක්ෂිණාංශික පරිපාලනය ගොඩනැගීමයි. ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව සැළ වූ විට ඔහුට සුබපතා පළමු දුරකථන ඇමතුම ලබා දී තිබෙන්නේ ට්‍රම්ප් විසිනි. ඉතින් ට්‍රම්ප් ඔහුගේ ප්‍රබලම මිතුරෙකි. අනාගත බ්‍රසීලය, ඇමරිකාවේ සමීපතම සගයෙකු වනු ඇතැයි ද ඔහු අනාවැකි කියා තිබේ. ඔහු දැන් සිතාගෙන සිටින්නේ තමන්ගේ ඇමරිකාව, බ්‍රසීලය බවයි. තමන් ට්‍රම්ප් බවයි. මේ පටලැවිල්ල තුළ, බ්‍රසීලය අනාගතයේ කටයුතු කරනු ඇත්තේ සම්ප්‍රදායික කුලදෙටුවෙකු ලෙස ය. නැවුම් වෙනස්කම් නුරුස්සන සම්ප්‍රදායික පුරුෂෝත්තමයෙකු ලෙස ය.

මේ අනුව 2018 ජනවාරියේ නව රජය බලයට පත්වීමත් සමග දැන් මේ අන්තර්ජාතික ප්‍රජාවට කටයුතු කිරීමට සිදු වී තිබෙන්නේ පරිසර විද්‍යාව හිතළුවක් යැයි පවසන උන්මත්කක රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග යැයි පැවසීම මුසාවක් නොවේ.

නමුත් නව ලිබරල් විමුක්තිය තිබෙන්නේ මෙසේ ලෝකයෙන් හුදෙකලා වී, තමන් පමණක් ආරක්ෂා වී අනෙකාට හෙණ ගැහුණත් කමක් නැතැයි සිතන පටු ආරක්ෂණවාදය සහ දක්ෂිණාංශිකවාදය සමග නොවේ යැයි මෙවැනි නායකයන් ට වැටහෙන්නේ කවදාද? එදා සියැටල් කීවේ අන්ත දක්ෂිණාංශය සහ ආරක්ෂණවාදය වෙත නැඹුරු වෙමින් ලෝකය මේ යන රැල්ලේ අවසානය ගැනද?

‘‘අන්තිම දොළ පාරත් හිඳී ගිය පසු, මුහුදේ අන්තිම මත්ස්‍යයාත් අල්ලා අවසන් කළ පසු, මිනිසුනේ, නුඹලාට වැටහේවි, සල්ලි කන්න බැරි බව..!“

පෙර ලිපි-

ඇමසන් වනය කපන්නට සැරසෙන බ්‍රසීලයේ ට්‍රම්ප්

බ්‍රසීලයේ ‘ඩොනල්ඩ් ට්‍රම්ප්‘ ජනපතිවරණයෙන් ජය ගනියි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි