×

සෑම 5 දෙනෙකුගෙන්ම 1 අයෙක් අල්ලස් දෙන/ අල්ලස් ලබන රටක මරා දැමුණු සුරූපී මාධ්‍යවේදිනිය

බල්ගේරියාවේ වික්තෝරියා මරිනෝවා දූෂණය කර මරා දැමුවේ කවුද?ඩැනියුබ් ගං ඉවුරේදී මරා දැමුණු යුක්තියේ කතාව මෙයයි.


ඈ සුරූපිනියකි. 30 හැවිරිදි ය. ගතානුගතික පිරිමි ලෝකයට අනුව ඇය කරමින් සිටියේ ඈ වැනි ලලනාවකට කොහෙත්ම ඔබින වෘත්තියක් නොවේ. මන්ද ඇය, දූෂණයට එරෙහිව හඬ නැගූ මාධ්‍යවේදිනියකි. බල්ගේරියාවේ “Detector නමැති දූෂණ විරෝධී රූපවාහිනී වැඩසටහන මෙහෙයවීම ද සිදුකළාය.

පසුගිය ඉරිදා බල්ගේරියානු බලධාරීන් පැවසුවේ ඇය ඝාතනය කර ඇති බව සහ, රොමේනියානු දේශසීමාව අසල රූස් හි උද්‍යානයක තිබී ඇගේ මළ සිරුර හමුවූ බව ය. මරා දමන්නට පෙර ඝාතකයන් විසින් ඇයව දූෂණයට ද ලක් කර තිබිණි.

theindependentghana.comtheindependentghana.com

theindependentghana.com

ඈ සේවය කළ TVN රූපවාහිනී නාලිකාව පිහිටා තිබුණේ ද රූස් නුවර ය. ඇය “Detector” නමැති සිය රූපවාහිනී වැඩසටහන මගින් බල්ගේරියාවේ ගවේෂණාත්මක වාර්තාකරණයේ නියැළී සිටි මාධ්‍ය වේදීන් ගණනාවක් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වූවාය.

බල්ගේරියානු අභ්‍යන්තර කටයුතු ඇමති බොයිකෝ බොරිසොව් (Boyko Borissov), මෙසේ කියයි. ‘වික්තෝරියා මරිනෝවාගේ ඝාතනය සහ ඇගේ ජනමාධ්‍ය වෘත්තිය අතර සම්බන්ධයක් තිබෙන බවට සාක්ෂි නැහැ!“

හොඳම වෝහාරික විශේෂඥයන් ලවා පරීක්ෂා කරවීම සඳහා ඩීඑන්ඒ විශාල ප්‍රමාණයක් ඇගේ සිරුරෙන් ලබාගෙන ඇති බව ද ඔහු පැවසුවේය.

ඇයට ජීවිත තර්ජන තිබූ බවට ද වාර්තා නොමැති බව ඔහු කියා තිබේ. මළ සිරුරේ ඇඳුම් සමග ඇගේ සෙල්ෆෝනය සහ මෝටර් රථයේ යතුරු ද අතුරුදහන් වී තිබිණි.

නමුත් ලොවම දන්නා පරිදි, ඇගේ ජනමාධ්‍ය වෘත්තිය තුළ ප්‍රධානතම මාතෘකාව වූයේ දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් විසින් යුරෝපා සංගමයේ අරමුදල් අවභාවිත කිරීම ය. ඒ පිළිබඳ ඇගේ භූමිකාව සම්බන්ධයෙන් යම් මතභේද පවතින නමුත්, මෙහිදී ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය, මාධ්‍යවේදිනියක වූ ඇයව මේ අන්දමින් මරා දැමුණේ ඇයි?

ඇයව අවසන් වතාවට දැක තිබුණේ සෙනසුරාදා උදෑසන ය. ඇය මිතුරු මිතුරියන් සමග කෝපි කෝප්පයක් තොල ගාමින් සිටියාය. ඉන්පසු උදෑසන ව්‍යායාම පිණිස දිවීම සඳහා ඩැනියුබ් ගං ඉවුර වෙත ගියා ය. දූෂණයට ලක් කර මරා දැමුණු ඇය පිළිබඳ පසුදිනයේ වාර්තා විය. පහර දී ඇති බවට සාක්ෂි දෙන තැලුම් හා සීරීම් තුවාළ ද රාශියක් ඇගේ සිරුරේ විය.

Hindustan Times

Hindustan Times

යුරෝපා සංගමය තුළ වසරක් තුළ මරා දැමුණු තුන්වැනි මාධ්‍යවේදියා ඇයයි. මීට පෙර ස්ලෝවැකියාවේ ජැන් කුසියැක් (Jan Kuciak) ද, මෝල්ටාවේ ඩැෆ්නි කරුවානා ගැලීෂියා (Daphne Caruana Galizia) ද ඝාතනයට ලක් වූ අතර, මේ තිදෙනාම රජයේ ඉහළ මට්ටම්වලින් සිදුකෙරෙන දූෂණ හෙළි කිරීමේ යෙදී සිටි අය වූහ. මේ අතරින් ජැන් කුසියැක් සහ ඔහුගේ ජීවන සහකාරිය යුරෝපය පුරා මෑත කාලීනව පැතිරගිය අන්ත දක්ෂිණාංශික රැල්ල හමුවේ දක්ෂිණාංශික නායකයන්ගේ විවේචනයට ද ලක්වූ මාධ්‍ය නියෝජනය කළ අය වූහ. ඔවුන්ව මරා දමා තිබුණේ රජයේ ඉහළ පෙළ නිලධාරීන් හා සබැඳි අපරාධ කිහිපයක් ගවේෂණය කරන අතරවාරයේ බව ද කියැවේ. ඔවුන් දෙදෙනාම 27 හැවිරිදි වූ අතර, ඝාතනය සම්බන්ධයෙන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ද ගැනුණි. මේ වන විට විශ්වාස කෙරෙන්නේ මුදල් අමාරුකම් තිබූ හිටපු පොලිස් භටයෙකුට ඩොලර් 80,000 ක් ලබාදීම මගින් ඔවුන් දෙදෙනා ‘කුලියට මරවා‘ ඇති බව ය.

මේ අතර මෝල්ටාවේ ඩැෆ්නි කරුවානා, එරට හොඳම ගවේෂණාත්මක වාර්තාකාරිනියක සේ සැලකුණු අතර, ඇයව සිය පුතු බලන්නට යන ගමනේදී මරා දමා තිබුණේ ඇගේ මෝටර් රථයට බෝම්බ සවි කිරීම මගිනි.

දැන් අපි නැවතත්, බල්ගේරියාව වෙත හැරෙමු.

බල්ගේරියාව කුඩා රටකි. මුළු රටේම ජනගහනය මිලියන 7 කට වඩා නැත. පොලිස් වාර්තාවලට අනුව බල්ගේරියාවේ ඝාතන ප්‍රතිශතය 2016 වසරේදී වාර්තා වන්නේ 100,000කට 1.1 ක් වශයෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ මේ අගය 100,000කට 5.3 කි. එනම්, දළ වශයෙන් බල්ගේරියාව මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් 5 ගුණයක් සාමකාමී රටකි. එවන් රටක් වික්තෝරියා වැනි තරුණ මාධ්‍යවේදිනියකට ජීවත් වීමේ අවස්ථාව අහිමි කළේ ඇයි?

ලක්ෂ එකහමාරක ජනගහනයක් ජීවත් වන රූස් නගරයෙන් මිනී මැරුම් පිළිබඳ වාර්තා වන්නේ ඉතා කලාතුරකිනි. පසුගිය වසරේ එයින් වාර්තා වූයේ ඝාතන 5 ක් පමණක් බව කියැවේ.

මනුෂ්‍ය ඝාතන ඉතා අඩුවෙන් වාර්තා වුවද, බල්ගේරියාව යනු යුරෝපා සංගමයේ පිහිටා තිබෙන දූෂිතම රටකි. එසේම මාධ්‍ය නිදහස අතින් ද එය පසුවන්නේ පහළම ස්ථානයක ය. යුරෝපා සංගමයට බල්ගේරියාව සම්බන්ධ වී වසර 10 ක් ගෙවී ඇත. ඒ කාලය තුළ දූෂණ විරෝධය වැනි යහපත් ප්‍රවණතා බල්ගේරියාව තුළ වර්ධනය වූවා නම් ඒ ඉතාමත්ම අඩුවෙනි. බල්ගේරියාවේ සොෆියා අගනුවර පිහිටා තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යයනයන් පිළිබඳ මධ්‍යස්ථානය දක්වන ආකාරයට බල්ගේරියාවේ වෙසෙන මිලියන 7ක ජනතාව අතරින් මිලියන 1.3 ක්, එනම් දළ වශයෙන් සෑම වැඩිහිටියන් 5 දෙනෙකුගෙන්ම එක් අයෙක් සිය ජීවිත කාලය තුළ යම්කිසි දූෂිත ගනුදෙනුවකට සම්බන්ධ වූවන් ය. අඩුම ගණනේ අල්ලස් ලබාගැනීම හෝ අල්ලස් ගෙවීම හෝ ඔවුන් විසින් සිදුකර තිබේ.

මේ අතර, RAND Europe නමැති පර්යේෂණ ආයතනය විසින් 2016 වසරේදී පළ කළ වාර්තාවක දැක්වෙන්නේ සෑම වසරකම බල්ගේරියාවට ඩොලර් බිලියන 7 සිට ඩොලර් බිලියන 12 දක්වා මුදල් සම්භාරයක් දූෂණය හේතුවෙන් අහිමි වන බවයි. මේ මුදල, එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් 1/5කට සමාන වේ.

මෙයට සමාන්තරව බල්ගේරියාවේ ජන මාධ්‍ය තුළ ද අපූරු වෙනසක් දැක ගත හැකිය. එනම්, දූෂණ පිළිබඳ වාර්තා කරන ස්වාධීන මාධ්‍ය ආයතන සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළ වැටීමයි. බල්ගේරියාවේ ප්‍රකාශකයන්ගේ සංගමය (Union of Publishers) විසින් පළ කළ වාර්තාවකට අනුව මේ සඳහා සෘජුවම බලපා තිබෙන්නේ පුවත්පත් ප්‍රකාශකයන්, දේශපාලන පක්ෂ සහ බලවත් සුළුතරය අතර ඇති වී තිබෙන ගැටුම් වේ. ජනතාවට විනිවිදභාවය පිළිබඳ වැටහීමක් නොමැති බවත්, ඇතැම් අය විනිවිද භාවයක් පිළිබඳ විශ්වාස නොකරන බවත් එම වාර්තාවේ දැක්වේ.

මේ ඝාතනය සිදුවන විට වික්තෝරියා මරිනෝවාගේ රූපවාහිනී වැඩසටහන විකාශය වීම ආරම්භ වී ඒ හැටි කාලයක් ගත වී තිබුණේ නැත. එම වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ සැප්තැම්බර් 30 වැනිදා ය. නමුත් පළමු වැඩසටහන මගින්ම ඇය යුරෝපියානු සංගමය විසින් ලබාදෙන අරමුදල් දූෂිත අරමුණු සඳහා යෙදවීම ගවේෂණය කරන මාධ්‍ය වේදීන් දෙදෙනෙකු සිය වැඩසටහන වෙත කැඳවා තිබිණි.

ඇය දූෂණය කර මරා දමනු ලබන්නේ එයින් හරියටම සතියක් ගිය තැන ඔක්තෝබර් 7 වැනිදා ය.

ඇගේ රූපවාහිනී වැඩසටහනේ ප්‍රචාරක පටයකි, මේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි