×

උතුරු කැලිෆෝනියාවේ රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූ කම්පනයක් හා පසු කම්පන රැසක්; පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්වේ

කැලිෆෝනියාව නිරන්තරයෙන් භූ කම්පන වලට ගොදුරුවන අතර විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ පුළුල් විනාශයක් ඇති කළ හැකි භූමිකම්පාවක් ඉදිරි වසර 30 තුළ සිදු වීමට ඉඩ ඇති බවයි.


උතුරු කැලිෆෝනියාවේ යුරේකා වරාය නගරයට සැතපුම් 24ක් පමණ ඔබ්බෙන් ඊයේ(20)දිනයේ අලුයම රිච්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූ කම්පනයක් හා කුඩා පසු කම්පන රැසක් වාර්තා වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසා තිබේ.

මෙමඟින් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 11 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව වාර්තා වන අතර භූමිකම්පාව හේතුවෙන් හුම්බෝල්ට් ප්‍රාන්තයේ පුද්ගලයින් 70,000 කට වැඩි පිරිසකට විදුලිය ඇණහිට තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ භූමිකම්පාවෙන් ගෑස් කාන්දුවීම් රාශියක් සිදුව ඇති අතර, විදුලි රැහැන් කඩා වැටී ෆර්න්ඩේල් නගරයේ ගින්නක් ඇතිව ඇති බවයි.


KRCR-TV ආයතනය වාර්තා කර තිබුණේ භූමිකම්පාවෙන් පසු කැලිෆෝනියා අධිවේගී මාර්ග වල ඉරිතැලීම් ඇතිව ඇති බවත්, පාලමක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට ෆර්න්ඩේල් නගරයේ පොලිසිය පියවර ගෙන ඇති බවත්ය. එමෙන්ම මාර්ගවලට සහ නිවාසවලට පුලුල් හානි සිදුව ඇති අතර, ගෑස් හා ජල මාර්ග කාන්දුවීම් පිළිබඳ සුපරික්ෂාකාරීවන ලෙස රජය නිවැසියන්ගෙන් ඉල්ලා තිබේ.


කැලිෆෝනියාව නිරන්තරයෙන් භූ කම්පන වලට ගොදුරුවන අතර විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ පුළුල් විනාශයක් ඇති කළ හැකි භූමිකම්පාවක් ඉදිරි වසර 30 තුළ සිදු වීමට ඉඩ ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි