×

ලේ දන් දී ජීවිතයක් බේරාගන්න සමරිසියන්ට පනවා තිබූ තහනම කැනඩාවත් හකුලා ගනී!

රුධිර පාරවිලයනය හෙවත් ලේ දන් දීමේ දී සමරිසි පුද්ගලයන් වෙත පනවා තිබූ තහනමක් කැනේඩියානු බලධාරීන් විසින් ඉවත් කර තිබේ.


ලිංගික සෞඛ්‍යයට අදාළව එච්අයිවී ඇතුළු ලිංගාශ්‍රිත රෝග සඳහා අධි අවදානමක් තිබෙන පුද්ගල කණ්ඩායම් වර්ගීකරණය කිරීමේදී පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි (Men who have Sex with Men – MSM) හඳුනා ගැනීම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවේ.

මෙය සිදුකරන්නේ එම කණ්ඩායම් වල ලිංගික රුචිඅරුචිකම් මත නොව ලිංගික චර්යාව පදනම් කරගෙන ය.

පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි ගණයට සමරිසි පුරුෂයන් (Gay/Homosexual Men), ද්වීරිසි පුරුෂයන් (Bisexual Men) මෙන්ම විෂමරිසි පුරුෂයන් (Heterosexual/Straight Men) ද අයත් වේ.

කෙසේවෙතත්, ලිංගාශ්‍රිත රෝග සඳහා අධි අවදානමක් තිබෙන පුද්ගල කණ්ඩායමක් ලෙස පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි හඳුනා ගෙන තිබීම තුළ සමරිසි හා ද්වීරිසි පුරුෂයන් ට විවිධ අන්දමේ සීමාවන් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පැනවීම අනාදිමත් කළක පටන් සිදුවූවකි.

මින් එක් සීමාවක් වන්නේ රුධිර පාරවිලයනයට ඇති සීමාවන් ය. සමරිසි පුරුෂයන් අතර ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබේය යන ගතානුගතික හා පැරණි සෞඛ්‍ය උපකල්පනයට අනුකූලව සමරිසි පුද්ගලයන්ට රුධිර පාරවිලයනය කිරීමට අවසර ලබා නොදී ම ලොව විවිධ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර වල දක්නට ලැබේ.

මෙහි විද්‍යාත්මක හරය ප්‍රශ්න සහගත වනවා පමණක් නොව එය පුද්ගලයකු සතු මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. එය සමලිංගිකභීතිකාවේ (Homophobia) ලක්ෂණයක් බවයි ක්‍රියාකාරීන් තර්ක කරන්නේ.

කැනඩාවේ රුධිර පාරවිලයනයට අදාළව පැවති සෞඛ්‍ය රෙගුලාසි අනුව, යම් පුරුෂයකු රුධිර පාරවිලයනය කිරීමට පෙර මාස තුනක (එච්අයිවී සඳහා දළ වශයෙන් සැලකෙන කවුලු කාලය මත පදනම් ව මෙය ගණනය කෙරේ) කාලය තුළ තවත් පුරුෂයකු සමඟ ලිංගිකව හැසිරී ඇත්නම් ඔහුට රුධිර පාරවිලයනය සිදු කිරීමට නොහැකිය.

කැනඩාවේ මෙවන් තහනමක් මුල්ම වරට පැනවෙන්නේ 1992 වර්ෂයේ ය. එච්අයිවී වෛරසය රුධිර පද්ධතියට ඇතුළු වීම වැළැක්වීම සඳහා එවන් තීන්දුවක් ගෙන තිබූ අතර, මීට හේතුව වී තිබෙන්නේ 80 දශකයේ කැනඩාව තුළ සිදුවූයේ යැයි කියන රුධිර පාරවිලයනය හා බැඳි මහජන සෞඛ්‍ය අපකීර්තියක් හේතුවෙන් පුද්ගලයන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් එච්අයීවී ආසාදනය වීමත්, හැට දහසකට ආසන්න සංඛ්‍යාවකට හෙපටයිටිස් සී ආසාදනය වීමත්, සමරිසි ප්‍රජාව පිළිබඳව එවකට සමාජයේ තිබූ ආකල්ප මත මීට වරද පැටවූයේ සමරිසි ප්‍රජාවට වීමත් ය.

මෙසේ රුධිර පාරවිලයනය සම්බන්ධයෙන් සමරිසි ප්‍රජාවට එරෙහිව පැනවූ තහනම ජීවිතාන්තය දක්වා විය. නමුදු 2013 වර්ෂයේදී මෙම නීතිය යම්තාක් දුරට ලිහිල් වී, පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් වසර පහක කාලයක් ලිංගිකව හැසිරීමෙන් වැළකී සිටින්නේ නම් ඔවුනට රුධිරය පරිත්‍යාග කිරීමට හැකි පරිදි එම නීතිය සංශෝධනය විය. පසු කලෙක එය මාස තුනක කාලය දක්වා තවදුරටත් ලිහිල් විය.

මෙම තහනම සහමුලින්ම ඉවත් කරන බවට 2015 වර්ෂයේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ගේ ලිබරල් පක්ෂය පළමු වරට ප්‍රකාශ කළේය. එහෙත්, එය වසර ගණනක් යන තුරු එසේ සිදු නොවීය.‍

කෙසේවෙතත්, දැන් මෙම තහනම ඉවත්කොට ඇත. ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ඉටුකර ගැනීමට නොහැකි වූ මෙම පොරොන්දුව ඉටු කරන බවත්, රුධිර පාරවිලයනය සම්බන්ධයෙන් මෙතෙක් පැවති ප්‍රවේශය වෙනස්කොට සැලකීමේ මුහුණුවරක් ගන්නා හා වැරදි බවත් ය.

මේ පිළිබඳව කැනඩාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ, රුධිර පාරවිලයන ක්‍රියාදාමය වඩාත් පුළුල් හා සියළු ප්‍රජාවන්ට විවෘත ක්‍රියාදාමයක් බවට පත් කිරීමේ අද්විතීය සංදිස්ථානයක් ලෙස මෙය සැලකිය හැකි බවයි.‍

කැනඩාවේ නීතිය සංශෝධනය වීමත් සමඟ රුධිර පාරවිලයන ක්‍රියාදාමයේ දී පුද්ගලයකුගේ ලිංගික දිශානතිය (Sexual Orientation) ප්‍රශ්න කරනු වෙනුවට ඔවුන් අධි අවදානම් ලිංගික චර්යාවක නිරත වූයේ දැයි යන්න පමණක් ප්‍රශ්න කෙරෙනු ඇති.

සමරිසිභාවය (Homosexuality) යනු ලිංගික දිශානතියකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පුද්ගලයකුගේ ලිංගික දිශානතිය කායික, මානසික හා ප්‍රේමණීය හැඟීම් වල එකතුවක් ලෙස ඔවුන් ආකර්ෂණය වන්නේ කවරකුට ද යන්න මත නිර්වචනය වේ.

එම නිර්වචනය අනුව සමරිසිභාවය, හෝ සමලිංගිකත්වය, නැතහොත් වෙනත් ඕනෑම ලිංගික දිශානතියක් හුදෙක් ලිංගික චර්යාවක් මත සීමාවන කරුණක් නොවන අතර, ඉහත දැක්වූ රුධිර පාරවිලයන ක්‍රියාදාමය තුළ රුධිර පාරවිලයනයට පෙර පුද්ගලයකුගේ ලිංගික දිශානතිය විමසා සිටීමේ ඇති විද්‍යාත්මක පසුබිමේ ඇති ප්‍රශ්නභාවී ස්වරූපය මින් වඩාත් පසක් වෙයි.

කැනඩාව විසින් ගත් මෙම ප්‍රගතිශීලී තීන්දුව එළඹෙන සැප්තැම්බර් 30 වන දින සිට බලාත්මක වීමට නියමිත ය.‍

එක්සත් රාජධානිය මේ හා සමාන තීන්දුවක් ඉකුත් වසරේ ගනු ලැබීය. එමෙන්ම, ප්‍රංශය, ග්‍රීසිය, ඊශ්‍රායලය, හංගේරියාව, ඩෙන්මාර්කය හා බ්‍රසීලය ද මේ හා සමාන ප්‍රගතිශීලී තීන්දු ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ද මෙම තහනම අපැහැදිලි මට්ටමින් ක්‍රියාත්මක ය. එය අපැහැදිලි යැයි පැවසීමට හේතුව නම්, රුධිර පාරවිලයනයට අදාළව පිරවීමට ඇති පෝරමයේ රුධිරය පරිත්‍යාග කරන පුද්ගලයා සමලිංගික හැසිරීමක නිරත වී ඇති නම් රුධිරය පාරවිලයනය කිරීමට නුසුදුසු බව දක්වා ඇති මුත්, ශ්‍රී ලංකාව තුළ පුද්ගලයකුගේ ලිංගික දිශානතියක් විමසා රුධිරය ලබාගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදුනොවන බැවිනි. රුධිරය පරිත්‍යාග කරන පුද්ගලයා සමරිසි නම් කිසිවිටක තමා සමරිසි යැයි ප්‍රකාශ ද නොකරයි.

ඒ අනුව ඕනෑ තරම් සමරිසි පුද්ගලයන් රුධිරය පරිත්‍යාග කිරීම ශ්‍රී ලංකාවේ සිදුවේ.

ඡායාරූප: ගෙටී ඉමේජස්

රුධිරය පරිත්‍යාග කිරීමට එංගලන්තයේ පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින්ට පනවා තිබූ තහනම ඉවතට!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි