×

ලිංගිකත්වයේ වෙනස් මානයක්ද, අසම්මතයේ උපරිමයක්ද? මෝටර් රථ සමග සංවාසයේ යෙදෙන්නියක් ගැන කියන Titane චිත්‍රපටයට 2021 කාන් සිනමා උළෙලේ ඉහළම සම්මානය

ලිංගිකත්වයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් පිරී ගිය, කාන් සිනමා ඉතිහාසයේ වඩාත්ම කම්පනය ඇති කරවනසුලු ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන Titane චිත්‍රපටය, වසරේ හොඳම සිනමා කෘතිය බවට පත් වේ.


ඒ අනුව මෙවර පාම් ඩි‘ඕර් සම්මානය හිමිව තිබෙන්නේ ප්‍රංශයේ Titane චිත්‍රපටයට ය.

එහි අධ්‍යක්ෂිකා ජුලියා ඩියුකෝනෝ කාන් සිනමා ඉතිහාසයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය තනිව හිමි කර ගත් පළමු කාන්තාව බවට ද මෙයින් පත් වේ.

මෙයට පෙර 1993 වසරේදී The Piano චිත්‍රපටයේජේන් කැම්පියන් ද හොඳම අධ්‍යක්ෂණයට හිමි පාම් ඩි‘ඕර් සම්මානයෙන් පිදුම් ලැබුවත් එය සම අධ්‍යක්ෂණයක් වූ හෙයින් සම්මානය බෙදී ගියේය.

ලිංගිකත්වය ගැන වෙනත් කතිකාවක් ද? අසම්මතයේ උපරිමයක්ද?

මෙම සිනමා පටය විචාරකයන් පවා අවුල් කරවනසුලු එකක් ලෙස මුල පටන් සැලකුණේ එහි අසාමාන්‍ය කතා වස්තුබීජය හේතුවෙනි.

කුඩා කාලයේ සිදුවූ මෝටර් රථ අනතුරකින් දිවි බේරාගන්නා දැරියක් වැඩිහිටි වියට පත් වූ පසුව දාම මිනීමරුවෙකු (සීරියල් කිලර්) බවට පත් වීම වටා කතාව දිවේ. ඇය කිසිදු වග විභාගයක් නොමැතිව මිනීමරන්නීය. පුරුෂ වේශයකින් පෙනී සිටීමට ද ඇය මැලි නොවේ.

සිනමා පටයේ පූර්ව ප්‍රදර්ශනවලදී මෙහි ඇති අති ප්‍රචණ්ඩ දිගහැරීම් නැරඹීමට අසීරු බවට විවේචන එල්ල විය.

එම තරුණිය, ලිංගික තෘප්තිය සඳහා මෝටර් රථ සමග සංවාසයේ යෙදෙන්නියකි. චිත්‍රපටයට අනුව ඇය කැඩිලැක් මෝටර් රථයක් සමග සංවාසයේ යෙදීමෙන් පසුව ගැබ්බර වී සිටින්නීය.

මෙවැනිම කතා තේමාක් රැගත් ඩේවිඩ් ක්‍රොනන්බර්ග් ගේ “Crash” චිත්‍රපටය සහ සම්මානනීය ඩේවිඩ් ලින්ච්ගේ “Blue Velvet” චිත්‍රපට සමග Titane චිත්‍රපටය සසඳමින් අධ්‍යක්ෂවරියට පැසසුම් කරන විචාරකයෝ ද වෙත්. පෙර කී චිත්‍රපට දෙකම කාන් සිනමා උළෙලේ ප්‍රදර්ශනයෙන් පසුව ක්ෂණිකවම ‘ක්ලැසික්ස්‘ බවට පත් විය.

මේ අතර, ඉන්ඩීවයර් වැනි සිනමා විචාරක ප්‍රකාශන මෙම චිත්‍රපටය හඳුන්වා දෙන්නේ කාන් සිනමා උළෙලේ මෙතෙක් ප්‍රදර්ශනය වූ උමතුකාරීම නිර්මාණයක්‘ ලෙස ය.

‘ඕනෑම දෙයක් සිදුවිය හැක‘ යන සිනමා පරිකල්පනය තුළ වියහැකියාව බැහැර කරමින් සිනමාකාරිය මතු කරන ලිංගිකත්වය මත පදනම් වූ (අ)භව්‍ය (?) කතිකාව විසින් ලෝක සිනමාවේ වෙනස් ශානරයක් නිර්මාණය කරන්නේද, නැතිනම් ලත් තැනම ලොප් වන ප්ලොට් එකක් නිර්මාණය කර ඇත්තේ ද යන්න විසඳීමට දැන් භාරව තිබෙන්නේ ප්‍රේක්ෂකයන්ට ය.

මෙවර කාන් සිනමා උළෙලේ සම්මාන දිනාගත් අය පිළිබඳ අනපේක්ෂිත ලෙස කලින් හෙළිදරව් වී තිබෙන්නේ ඇමරිකානු සිනමා අධ්‍යක්ෂ සහ කාන් සිනමා ජූරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ස්පයික් ලී විසින් කළ අත්වැරදීමක ප්‍රතිඵලයක් ලෙස ය. “I apologise for messing up.” යනුවෙන් ද ඔහු කියා තිබිණි.

දේශපාලන කියවීමක්ද?

මෙම ප්‍රංශ සිනමා අධ්‍යක්ෂවරිය, සිනමාවේ සියලු රීතීන් කතා වස්තුව තෝරාගැනීමේදී බිඳ දමන්නියක ලෙස ප්‍රකට ය. මෙය ඇගේ දෙවැනි චිත්‍රපටය වන අතර, පළමු චිත්‍රපටය වූයේ ස්වජාති භක්ෂණය තේමාකර ගත් “Raw” චිත්‍රපටයයි.

ද ගාඩියන් පුවත්පත විසින් මුළු Titane චිත්‍රපටයම “car crash” එකක් හෙවත් මෝටර් රථ අනතුරක් වශයෙන් හඳුන්වා දී ඇත.

මේ අතර චිත්‍රපටය ලියන සමයේ මුහුණ දුන් විපරිත මානසිකත්වයක් ගැන අධ්‍යක්ෂවරිය, AFP පුවත් සේවය වෙත අතීතයේ ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක සඳහනක් තිබේ. එහිදී ඇය පවසන්නේ 2015 වසරේ එය ලියන අතරවාරයේදී තමන් ද මහත් සේ කෝපාවිෂ්ට වූ බවයි. ඒ අනුව මෙය ‘කුපිත ශක්තියෙන්‘ බිහි කළ නිර්මාණයකි. එයට බලපෑ සමාජ දේශපාලනික කාරණා පිළිබඳව ද ඇය එහිදී හෙළිදරව්වක් කරයි.

‘‘ට්‍රම්ප් ව තේරී පත්වුණු විගස කාලයයි, ඒ. ලෝකය තවදුරටත් ප්‍රීතිමත් තැනක් නෙවෙයි.‘‘

එවිට එය සිනමා අධ්‍යක්ෂවරියගේ නොසන්සුන්කාරී කෝපයේ දේශපාලන ප්‍රකාශනයක් ද වේ. 2015 වසරේ ට්‍රම්ප් බලයට පත් වන්නේ ලෝකයම දක්ෂිණාංශික බලවේගවලට අසාමාන්‍ය ලෙස නතු වීමේ ප්‍රවණතාවයක් තුළ ය.

කෙසේ හෝ මෙම ප්‍රංශ සිනමාකාරිය, සදාචාරයේ මෙන්ම පරිකල්පනයේ ද සියලු භව්‍ය-අභව්‍ය සීමාවන් කඩා බිඳ දමමින් ඉන් ඔබ්බට ගොස් ලිංගිකත්වය පිළිබඳ පවතින සමාජ සම්මතයන් ඔසවා පොළොවේ ගසයි. ඒ පොළොවේ ගැසීම කොතරම් කම්පන සහගතදැයි කියනවා නම් සිහි එළවා ගැනීමට බොහෝ වේලා ගත වේ. සිනමා පටයේ කුඩුපට්ටම්ව ගිය ආත්ම තුළ අන්ධකාරය නිතැතින්ම උපදියි. ඒ සියලු කම්පනයන් මැද අධ්‍යක්ෂවරිය කතා කරන්නේ කොන්දේසි විරහිත ආදරයක් ගැන ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි